ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කමිටු රැස්වීමේදී අක්‍රමිකතා සහිත යෝජනා ප්‍රශ්න කළ ක්‍රිකට් උපසභාපතිවරයකුට ජාත්‍යන්තර ක්‍රීඩාගෙණ කළමනාකරු (INTERNATIONAL VENUE MANAGER) තර්ජනය කර අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇති බවට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදාළ උපසභාපතිවරයා කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන අරඹා තිබේ.

මේ අතර, ඊයේ (15දා) දිනයේදී මෙම පැමිණිල්ල විභාග කිරිමට දින යොදා තිබුණද අද (16දා) දක්වා කල් දමා ඇති බව වාර්තා වේ. අද දිනයේදී මෙම දෙපාර්ශ්වයම කැඳවා පැමිණිල්ල විභාග කිරීමට නියමිත බවද හෙළිවේ.

ජාත්‍යන්තර ක්‍රීඩාංගණ කළමනාකරු අයථා අයුරින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල සාමාජිකයෙකු ලෙස ඔහුගේ පුත්‍රයාවද ඔස්ටේලියාවට රැගෙන යෑමට දැරූ උත්සහයකට
සහ ඔහුගේ අක්‍රමිකතාවලට මෙම උපසභාපතිවරයා දැඩිව විරුද්ධ වීම හේතුවෙන් මෙලෙස තර්ජනය කර අසභ්‍ය වචනයෙන් බැනවැදී ඇති බව අනාවරණය වේ.

මෙහිදී ජාත්‍යන්තර ක්‍රීඩාංගන කළමනාකරු ඔට්‍රේලියානු සමාගමකින් (SOKHI AUSTRALIA PTY LTD) එහි  නිෂ්පාදනය කරන ''සුපර් සොපර්''  යන්ත්‍ර නිරීක්ෂණය කිරීමට නොවැම්බර්  මස 07 වැනිදා සහභාගි වන බව සඳහන් කරමින් වීසා අයදුම් කිරීමේ ලිපියක්ද ලබාගෙන ඇති අතර, එම ලිපියේ ඔහුගේ පුත්‍රයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීයෙකු ලෙස සඳහන් කර තිබීම බරපතළ ගැටලු මතු කරවන්නෙකි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට "සුපර් සොපර්" යන්ත්‍ර ගෙන්වනු ලබන්නේ පෞද්ගලික ආයතනයක් වන අතර, අඩුම තරමින් ඔවුන්ගෙන් සාමාජිකයෙකු හෝ මෙම "සුපර් සොපර්'' යන්ත්‍ර නිපදවන කර්මාන්තශාලාව නැරඹීමට නොයාම මෙහිදී විමතිය දනවන කරුණක් වී තිබේ. මෙම ''සුපර් සොපර්'' යනු කර්මාන්තශාලාව නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති මෙන්ම එහි ජාතික සංවර්ධන කමිටු කළමනාකරු සහභාගි වන බවද දන්වා තිබේ.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නාමය අවභාවිත කිරීම සමිබන්ධයෙන් මෙතෙක් ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම් හෝ වෙනත් වගකිවයුතු පාර්ශ්වයක් පරික්ෂණයක් හෝ පැවැත්වීමට නියෝග කර නොමැති අතර, ජාත්‍යන්තර ක්‍රීඩාංගණ කළමනාකරු ක්‍රිකට් ලොක්කගේ ගජ ම්තුරෙකු වීම හේතුවෙන් ලොක්කෝ මෙලෙස
නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවද වාර්තා වේ.

මෙම තර්ජනය කිරීම සම්බන්ධයෙන් උපසභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම් ඇතුළු විධායක කමිටුව දැනුවත් කර ඇති බව දැනගන්නට තිබෙන අතර, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද මේ පිළිබඳව පැමිණිල්ලක් යොමු කර ඇති බවට වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් මෙම සංචාරය සදහා ජාත්‍යන්තර ක්‍රීඩාංගණ කළමනාකරු සහ ඔහුගේ පුත්‍රයා රැගෙන යෑමට අනුමැතියක් ඉල්ලා ඇතත් එම අනුමැතිය මෙතෙක් ලබාදී නොමැති  බවටද අනාවරණය වේ. ජාතන්තර ක්‍රීඩාංගණ කළමනාකරු එංගලන්ත සවාරියකුත් ඉල්ලලා මේ අතර, ජාත්‍යන්තර ක්‍රීඩාංගණ කළමනාකරු එංගලන්තයේ තිබෙන තවත් කර්මාන්තශාලාවක් සහ ප්‍රදර්ශනයක් නැරඹීම සඳහා මෙම මස 26 වැනිදා සිට එහි සංචාරය කිරීමට අවශ්‍ය අනුමැතිය ඉල්ලා තිබේ.

ඒ මෙරට ක්‍රීඩාංගණවලට අවශ්‍ය අනෙකුත් යන්ත්‍රෝපකරණ ගෙන්වීම සඳහා බව පවසමිනි. කෙසේ වෙතත් මෙම ඉල්ලීමටද ඉහත තර්ජනයට ලක්වූ උපසභාපතිවරයා පරිපාලන කමිටු රැස්වීමේදී දැඩිව විරුද්ධ වී ඇති බව වාර්තා වේ.

- පැතුම් ශ්‍රී විජේරත්න