ජේ.සී.බී. යන්ත්‍ර රියැදුරකුගේ ගෙලට උල් පිහියක් එල්ල කර “නිධානය හමුවනතුරු වැඩේ කරන්න” යැයි
පවසා මරණ තර්ජනය කර පොලිස් අත්අඩංගුවට පත්වෙතැයි බියෙන් සැඟවී සිටි වසන්ත සොයිසා ඝාතනයේ
ප්‍රධාන සැකකරුවකු වන යුද හමුදාවෙන් නෙරපා සිටින ‘එස්.එෆ්. ලොක්කා” අනුරාධපුර මහෙස්ත්‍රාත්

අධිකරණයේ පැවැති නඩුවකට ඉදිරිපත් වී ඉන් පිටතට පැමිණි අවස්ථාවේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ
නිලධාරීන් පිරිසක් 22දා උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය.

අනුරාධපුර, ගල්කඩවල ප්‍රදේශයේ මල්වතු ඔය වේල්ල ආසන්නයේ පිහිටි පෞද්ගලික

ඉඩමක සේවයේ නියුතු
අයකු ඇතුළු තිදෙනකු හා එස්.එෆ්. ලොක්කාගේ ගෝලයන් පිරිසක් නිදන් සෙවීමේ කටයුත්තක් පසුගිය 9දා
ආරම්භ කර තිබෙන බව පරීක්ෂණ පවත්වන පොලිසිය අනාවරණය කරගෙන තිබිණි. ඉන් එක් සැකකරුවකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකාර එස්.එෆ්. ලොක්කා ජේ.සී.බී. යන්ත්‍රය නිදන් හෑරීමේ කටයුත්තට යොදවා තිබෙන අතර
ජේ.සී.බී. යන්ත්‍රයේ කුලී වශයෙන් රුපියල් 80,000ක් ගෙවා තිබෙන අතර රියැදුරාට ස්ථාන කිහිපයක්
හාරන ලෙස උපදෙස් ලබාදීම හා ඒ ආසන්නයේ පලතුරු වට්ටියක් තිබීම නිසා සැකකරුවන් නිදන් සෙවීමේ
කාර්යයක නිරත වන බව වැටහී රියැදුරු විසින් යන්ත්‍රයේ අයිතිකරුට ඒ බව දන්වා තිබේ.

අයිතිකරු විසින් සිදුකරන කාර්ය අවසන් කරන ලෙස රියැදුරාට දැන්වූ අවස්ථාවේ ඔහු කාර්ය නතර කිරීමට
උත්සාහ කරද්දී එස්.එෆ්. ලොක්කා ඔහුගේ ගෙලට උල් පිහියක් තබා මරණ තර්ජනය කර “මම මේ වැඩේට
සල්ලි ගෙවලා තියෙන්නේ, මම කවුද කියලා උඹ දන්නවානේ, වැඩේ කරපන්” යනුවෙන් පවසා ඔහු
බියගන්වා තිබිණි.


එස්.එෆ්. ලොක්කා ඇතුළු පිරිසක් පෞද්ගලික ඉඩමක බලහත්කාරයෙන් නිදන් සොයමින් සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර එදින සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබිණි.

නිදන් සෙවීමේ සිද්ධියට සැකපිට තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ
පවත්වයි. සැකකාර එස්.එෆ්. ලොක්කා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අනුරාධපුර
මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක උපාලි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය