අද කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති ජනපතිවරණ ප්‍රචාරණයේ  මංගල ජන රැළිය අමතමින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස තමාගේ අතින් සිදුවූ අත් වැරැද්දකට සමාව ඉල්ලන බව කියා සිටියේය.
එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා,

'ආරම්භයේදීම මම සමාව ඉල්ලනවා. මගේ කතාවකදී මගේ අතින් කියවුනා මගේ මුඛයට ශ්‍රී මුඛ්‍ය කියලා. මගෙන් වූ ඒ වැරද්දට ගරුතර සංඝයාවහන්සේලා ගෙන් සහ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලනවා. මගේ අඩුපාඩුව මට තේරුම් ගියා. මම වැරැද්දක් උනා නම් රටේ සාමාන්‍ය ජනතාවගේ කකුල් දෙක ලඟට ඇවිල්ලා සමාව ඉල්ලන්න මේ සජිත් ප්‍රේමදාස කවදාවත් පැකිලෙන්නේ නැහැ.'


ඔහු කියූ අනෙක් අදහස් මෙසේය.

පවුල්වාදය, මිල්ටරිවාදය කරපින්නා ගත්ත පාලනයක් මේ රටට අවශ්‍ය නැහැ. මා පොරොන්දු වෙනවා ඉදිරි ජනාධිපතිවරණයේදී
පොදු ජනතාවගේ හඬ දිනවන බවට මම පොරොන්දු වෙනවා කියලා.

මේ අලුත් දශකයේදී ලෝකයේ අංක එකේ රට බවට ශ්‍රී ලංකාව පත් කරන්න ඕන. මානවාදී රටක්, සුභවාදී රටක් බවට ලංකාව පත් කරන්න ඕන. පොදු ජනතාව සෞභාග්‍ය උදාකරන රටක් බවට ලංකාව පත් කරන්න ඕන. ධිවර, කම්කරු, ගොවි, මධ්‍යම පාන්තිකයින් දිනවන රටක් බවට ලංකාව පත් කරන බවට මම පොරොන්දු වෙනවා.

අපේ රටේ අනාගතය තීරණය කරන්න ඕන වලව්වක් ඇතුලේ ඉන්න එක් පවුලක් නෙමේ. එය සිදුකරන්න ඕන රටේ සාමාන්‍ය ජනතාව, තරුණ සහ කාන්තා පරපුර මෙන්ම පංච මහා බලවේගයි රටේ අනාගතය තීරණය කරනන් ඕන.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ජාතිවාදී භේද නොතකා ආරක්ෂා කිරීමට අපි සැදී පැහැදී සිටිනවා. මේ රටේ දක්ෂ තරුණ පරපුරක් සිටිනවා. මේ රටේ තරුණ පරපුරේ කීකරු සේවකයා වෙන්න මේ සජිත් ප්‍රේමදාස කැමති. මේ රටේ තරුණ පරපුර දේශපාලන ගොදුරක් බවට පත් වෙලා සිටිනවා. ඒ තරුණ පරපුරට නව අදහස් වලට සැලකිල්ල ලබා දෙමින් ඉදිරියට යන්න අවශ්‍ය සියලු දේ කරන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා.

අපේ රටේ කාන්තා පරපුර වෙනුවෙන් කාන්තා ප්‍රඥප්තියක් ඇති කරනවා. කාන්තාවන්ට පැය 24 තුලදීම ආරක්ෂාව ලබාදෙන ක්‍රමවේදයක් ඇති කරනවා.

ඒ වගේමයි ගොවින් සමගත් අපි ගිවිසුමක් ඇති කරනවා. කටට එන විදිහට පොරොන්දු මේ සජිත් දෙන්නේ නැහැ. ගොවින් වෙනුවෙන් සහතික මිලක් ලබා දෙන්න වගේම ඔවුන් වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් සාදන්න කටයුතු කරනවා.

අද වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙලා තියෙනවා ජාතික ආරක්ෂාව කියනදේ ගැන. මම ඔබලාට කියනවා ජාතික ආරක්ෂාව ගැන වගකීම දෙන්න ඕන සෝබනකාරයින්ට නෙමෙයි. එකේ වගකීම දෙන්න ඕන යුද්ධය සමග ඉදලා ජයග්‍රහණය කරපු ඒ විශිෂ්ඨ පුද්ගලයෙක් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වගේ කෙනෙක්ට කියලා මේ සජිත් ප්‍රේමදාස කියනවා. එතුමා කාඩ්බෝඩ් වීරයෙක් නෙමයි. එතුමා සැබෑ වීරයෙක්.

මම බලන්නේ වැඩකාරයින්
එකතු කරගෙන වැඩ කරන්න. ඒකයි මේ සජිත් ප්‍රේමදාසගේ වැඩ කටයුතු සිදුකරන්නේ.

අපි කවදාවත් දේශපාලඥයින්ට ජම්පර් අන්දවන්නේ නැහැ. ඒ ජම්පරේ අන්දවන්නේ අධිකරණයයි.

මේ නුතන ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න අපි කටයුතු කරනවා කියලා මම පොරොන්දු වෙනවා. අපේ සරත් ෆොන්සේකාට ත්‍රස්තවාදය විතරක් නෙමෙයි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලන්න සුවිශේෂී පියවරක් ගන්න ඕන.

මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මම කියනවා ඔබලා එළියේ කුඩු විකුනලා බන්ධනාගාර ගත්වුවාට පසුව එතන ඉදලා ආපහු ඒ දේ සිදුකරනවානම් ඔවුන්ට විරුද්ධව දෙන්න පුලුවන් උපරිම දඬුවම දෙන්න අපි පියවර ගන්නවා.

මේ රටේ ආර්ථික සංකල්පය ගොඩනගන්න විශේෂඥයින්ගේ මැදිහත්වීමෙන් නව යුගයක් බිහිකරන්න කටයුතු කරනවා. කිසිදු පත්වීමක් දේශපාලනය පදනම් කරගෙන දෙන්නේ නැහැ. සුදුස්සාට සුදුසු තැන දෙනවා. සමෘද්ධියට අමතරව දුප්පත් ජනතාව එතනින් මුදවන අලුත් සහන පැකේජයක් ලබා දෙනවා.

ඒ වගේමයි දහම් පාසල් අධ්‍යාපනය දියුණු කරන්න කටයුතු කරනවා.

අපේ ප්‍රතිවාදීන් මගෙන් අහනවා මට ශක්තිය තියෙනවද කියලා. මගේ ශක්තියෙන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ලබා ගත්තා. මගේ ප්‍රතිවාදියාට අපේක්ෂකත්වය ලබා දුන්නේ බන්දේසියේ තියලා. මා වෙනුවෙන් විශාල කැප කිරීමක් කරපු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද මට තිබ්බේ දුෂ්කර ගමනක්.

අපේ දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනගන්න වරම ලබා දෙන්න කියලා ඔබලා සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා.