රටටම හොරෙක් හැටියට පෙන්නලා මා බිල්ලට දුන්නේ රාජපක්ෂවරුයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දකුණු අත වගේ තමයි මම හිටියේ. එහෙම හිටපු මට පසුගිය මැතිවරණයේදි ලොකු අසාධාරණයක් කළා.එක්සත් ජාතික පක්ෂයට උදව් කරන්න පටන් ගත් දා
ඉඳලාම මට මරණ තර්ජන එනවා. මම මැරෙන්න බය නැහැ. මැරෙන්නෙත් එක පාරයි. හැබැයි මම මැරෙන්නේ රටටම සත්‍ය හෙළි කරලායි.  මට ඒ සඳහා මාධ්‍යයෙන් ඉඩක් ලබලා දෙන්න යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පෙරේදා (19) පස්වරුවේ  දී අම්බලන්ගොඩ දී කීවේය.

ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ  ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ පටබැඳිමුලේ පැවති ජන හමුවක් අමතමින් සජින් ද වාස් ගුණවර්ධන මහතා එසේ කීය.

කතා කරන ටිකට යම් යම් දේවල් තියෙනවා හෙළි දරව් කරන්න.
මිත්‍රවරුනි 2009 සිට සෘජු දේශපාලනයට ආව මම 2009 සිට 2015 කාල වකවානුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙක් විදිහටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් විදිහටන් විශාල වැඩ කොටසක් කළා.

සමහරක් අය අහන ප්‍රශ්නයක් තමයි ඇයි මේ සජින් වාස් වෙනස් වුණේ කියලා. අපිට විශාල ඉතිහසයක් තියෙනවා. අපි 2005 ආන්ඩුව පිහිටවලා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙලා විශාල වැඩ කොටසක් කරගෙන ආවා. 2010 ඉඳලා ඒ ඔක්කොම අනෙක් පැත්තට යන්න ගියා. ඒ නිසා 2015 දී ආණ්ඩුව පරාජයට පත් වුණා. ඒ එක්කම අපිට යම් යම් කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මම ඒ ගැන තර්කයක් කරන්නේ නැහැ. අපේ රටේ ආණ්ඩු මාරු වීමත් එක්ක හැල හැප්පීම් වෙනවා. නමුත් මම ඉතාම කනගාටු වෙනවා.

එදා ඒ ආණ්ඩුවේ සිටි ශක්තිමත් පුද්ගලයෙක් හැටියට මහින්ද රාජපක්ෂ මහත්තාගේ දකුණු අත වගේ හිටපු මට අන්තිමට එතුමා මාව බිල්ලක් කරලා මෙන්න හොරා කියලා පෙන්නලා මට ඇප නොදෙන්න බලපෑම් කරලා මට නාම යෝජනා නොදී හිටියා. එතුමා මට එහෙම කළේ නාමල් රාජපක්ෂ මහත්තයායගෙයි, බැසිල් රාජපක්ෂ මහත්තයාගෙයි බලපෑම් මතයි. මම මෙනන කියන්න හදන්නේ පෞද්ගලික දෙයක්. ඒ පෞද්ගලික දේ වුණත් කියන්න වුණේ මට එදා වුණු අසාධාරණය නිසයි. ඒක පැත්තකින් තියන්න.

මම කල්පනා කරලා බැලුවා ඉදිරි අනාගතයේ මේ රටේ තියෙන ප්‍රශ්නවලට විසඳුම කා ළඟ ද  තියෙන්නේ කියලා. කවුද මේ ප්‍රශ්නවලට විසදුම් ලබා දිය හැකි නායකයා කියලා. එක්සත් ජාතික
පක්ෂය පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය අතරින් මේ සඳහා නායකත්වය දිය හැක්කේ කාට ද කියලා බැලුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරලා වැඩක් නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පොදු ජන පෙරමුණට ගියාට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පොදු ජන පෙරමුණට ගියේ නැහැ කියන කාරණාව  මෙහිදී මම මතක් කරනවා. ඒ අය අද ඉන්නේ අපි සමගයි. එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා විජයග්‍රහණය කරන ඒ සියලුම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අපි සමග අත්වැල් බැඳ ගන්නවා. පොදු ජන පෙරමුණ අද දුවන්නේ එක චරිතයකට ඕන විදිහටයි. ඒ චරිතය තමයි මහින්ද රාජපක්ෂ  මහත්තයා කියන එක මම මේ අස්ථාවේදි කියනවා. එතුමාට ඕන විදිහටයි පොදු ජන පෙරමුණේ වැඩ කටයුතු කරන්නේ. මිත්‍රවරුනි මේ ජනාධිපතිරණය කියන්නේ මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් කරන අරගලයකුයි. ඒක අමතක කරන්න එපා.

ඒ සඳහා නියම සුදුස්සා සජිත් ප්‍රේදාස මහත්තයා කියන එකත් අමතක කරන්නෙ එපා.මම විශාල අවදානමක් අරගෙනයි මේ සටනට බැස්සේ. මේ වන විට මට මරණ තර්ජන  තියෙනවා. මම ඒවට බය නැහැ. මම මැරෙන්න බය නැහැ. මැරෙන්නේ එක පාරයි. හැබැයි මම මැරෙන්නේ සත්‍යම රටට හෙළි කරලා. මාව මේ රටේ හොරෙක් හැටියට පෙන්නන්න රාජපක්ෂලා කටයුතු කළා. මාව බිලි දුන්නා හොරක් හැටියට පෙන්නලා. මම දන්න සත්‍ය හෙළි කරන්න මට අවස්ථාවක් මාධ්‍යයෙන් දෙන්න. ඕනෑම ප්‍රතිවාදියෙක් ඉදිරිපිට මම දන්න සත්‍ය හෙළි කරනවා.  මට ඒකට අවස්ථාවක් දෙන්න.. මම මේ මගේ වෑයම අතහරින්නේ නොවැම්බර් මස 16 වැනිදා මේ රටේ ජනාධිපතිවරයා ලෙස  සජිත් ප්‍රේමදාස මහත්තයා පත් කරලායි. මීළඟ ජනාධිපති වන්නේ නියත වශයෙන්ම එතුමායි කියන එක මට බය නැතිවම කියන්න පුළුවන්.


-එම්.සුසිල් ප්‍රියන්ත-