එංගලන්තයේ රජ පෙලපතින් පැවත එන අයෙක් බව පවසා ශ්‍රී ලාංකීක තරුණ තරුණියන් රැසක් රවටා රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන විදේශිකයකු, අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්
කණ්ඩායමක් පුළුල් පරීක්‍ෂණ පවත්වා ගෙන යයි. අත්අඩංගුවට ගැනීමට සොයන මෙම විදේශිකයා මෙරට රැදී සිටිමින් මුහුණ පොත හරහා තරුණ තරුණියන් හඳුනාගෙන මෙම වංචාව සිදුකරගෙන යන බව නොරුතුරු  හෙළිවී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයෙක්‍ පැවසීය.


බස්නාහිර පළාත් බුද්ධ කොට්ඨාසයේ නිලධාරීන් අනාවරණය කරගත් තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වාගෙන යනු ලැබේ.තමා එංගලන්තයේ රජ පෙළපතින් පැවත එන අයකු බව සැකකරු ඔහුගේ මුහුණ පොත ඔස්සේ හඳුනාගත් තරුණ තරුණියන්ට පවසා ඔවුන් සමග සම්බන්ධතා ගොඩනගා ගෙන ඇති බව පොලිසිය කියයි.

මෙසේ කාලයක් තිස්සේ කතා බහකර විශ්වාසය දිනාගත් පසු කළ වටිනා තෑගී බෝග එවන බව එම තරුණ තරුණියන්ට පවසා එම තෑගි බෝග එවිමට තැපැල් ගාස්තු වශයෙන් කියා රුපියල් 50,000 සිට 75,000 අධික මුදල් ඊසි කැෂ් ක‍්‍රමයට ගෙන්වා ගෙන මෙම වංචාව සිදුකරමින් යන බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය. දැනට විශාල පිරිසක් මෙම සැකකරුට රැවටි මුදල් අහිමිකරගෙන සිටින බවත් ඔහුට නොරැවටෙන ලෙසත් පොලිසිය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-