නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියකු රෝහල් භූමිය තුළ පිහිටි කානුවකට ඇදවැටී මියයැමේ සිදුවීමක් මාරවිල මූලීක රෝහලන් වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ ඩී.ඩී. කරෝලිස් නමැති (80) අයෙකි. පන්නල
පන්නරේ  ගම්මානයේ ජීවත් වූ මොහු මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇත්තේ පසුගිය නව වැනි දින දහවල් කාලයේදීයි. මීට ටික කලකට ඉහත මේ පුද්ගලයා හදිසි අනතුරකට භාජන වී ඇති අතර ඉන්පසු එහි ප්‍රතිඵලයක් ලෙස මොහුට දරුණු හිසේ අමාරුවක් වැලඳී තිබේ.
මෙවර රෝහලට ඇතුළු වී ඇත්තේද ඊට ප්‍රතිකාර ගැනීම සඳහාය. මේ පුද්ගලයා නවවැනි දින පස්වරු 6.30 පමණ සිට රෝහල් වාට්ටුවේ නොසිට ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව මාරවිල මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක නිහාල් පද්මසිරි ගුරුසිංහ මහතා පැවැසීය.මේ මරණය සිදු වූ දිනට පෙර දින මේ ආකාරයෙන් තවත් රෝගියකු මේ කානුවටම ඇද වැටී ඇති බවද මේ මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
ඔහු මේ කානුවට වැටීමෙන් පසු කෑ ගැසීම හේතුවෙන් ඔහු ගැනීමට ඒ අවස්ථාවේ අවට සිටි පුද්ගලයන් කටයුතු කර ඇත, මාරවිල මූලික රෝහලේ හදිසි මරණ පරික්ෂක පද්මසිරී ගුරුසිංහ මහතා මේ මරණය පිළිබඳ මූලික විමර්ශනය සිදුකර
ඒ පිළිබඳ මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත, මේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයද මාරවිල මූලීක රෝහල් නොපැවැත්වූ අතර එය හලාවත මහ රෝහලේදී සිදුකෙරිණි.

මේ මරණය පිළිබඳ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 15 වැනි දින සිදුකිරීමට නියමිතය. මේ පුද්ගලයාගේ මළසිරුර මල්ශාලාවෙන් ඥාතීන්ට ලබා දී ඇත්තේ පෙටිටියට මුද්‍රා තැබීමෙන් අනතුරුවයි. ඒ මාළු ඇතුළු සතුන් විසින් මළසිරුරේ මුහුණ ඇතුළු අත්‍යවශ්‍ය කොටස් විනාශ කර තිබීම හේතුවෙනි. මොහු හදිසි අනතුරකට ලක්වීමෙන් පසු සුවය ලබමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති අතර මිය යනතෙක් මොහු ගෙයින් ගෙට යමින් මාළු විකිණීම සිදුකර සිය බිරිය ජීවත් කර ඇත.මේ පිළිබද සාධාරණයක් පරීක්ෂණයක් පවත්වත ලෙසට මියගිය පුද්ගලයාගේ ඥාතීන් හා ගම්වැසියන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින ලදී. තාවකාලික පිළියමක් ලෙස මේ කානුව දෙපස තාවකාලික උණබට වැටක් ඉදිකිරිමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත. මාරවිල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

හලාවත - ප්‍රසාද් පූණමාල්