කාර්මික දෝෂයකට ලක්ව හෝ වෙතත් කරුණක් නිසා දීර්ඝ කාලයක් රථවාහන නවතා තබා යනවා නම් වාහනයේ රියදුරාගේ දුරකථන අංකය පැහැදිලිව පෙනෙන ආකාරයට ප්‍රදර්ශනය කළ යුතු බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එසේ නොමැති වුවහොත් අදාළ වාහනයේ සියුම් කැබලි පවා ගලවා පරීක්ෂා කිරීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී
රුවන් ගුණස්කර මහතා සඳහන් කරයි.

මට්ටක්කුලිය පල්ලියක හා ඊට යාබද පාසලක් අසල සැකකටයුතු ආකාරයට සුබෝපභෝගී මෝටර් රථයක් පෙරේදා (15දා) රාත්‍රී නවතා යෑම නිසා ඊයේ (16දා) දිනයේදී පාසලට පැමිණි සිසුන් හා දෙමාපියන් කලබලයට පත්වූ බවද ඔහු පවසා සිටියේය.

වාහනයේ බෝම්බයක් තිබෙන බවට අසත්‍ය ප්‍රචාර පවා පැතිර ගිය බවත්, එහෙත් පොලීසිය මෝටර් රථය පරික්ෂාවකට ලක් කළද කිසිදු සැකකටයුතු යමක් හසු නොවූ බවත් ඒ මහතා පවසා සිටියේය.

වාහනයේ අයිතිකරු හා රියදුරුගෙන්ද ප්‍රකාශ ලබාගත් බවත්, මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්වීම නිසා මෙලෙස නවතා ගොස් තිබූ බවත් හෙතෙම සඳහන් කළේය.

ඉන්දික හේවාවිතාරණ