රටේ ආරක්ෂව පිළිබඳ වත්මන් ආණ්ඩුවට කිසිම හැගීමක් තිබුණේ නොමැති බවත්, ඔවුන්ට තිබුණේ පළිගැනීමේ ආශාව පමණක් බවත් විපක්ෂනායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ කියා සිටියේ ඊයේ (06දා) හෝමාගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වූ අවස්ථාවේදීය. හෝමාගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මෙය සංවිධානය කර තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා,
"අද අපිට රටක් ගොඩ නගන තියනවා. රටේ ආරක්ෂාව ගොඩනගන්න තියෙනවා. අනාගත පරපුර වෙනුවෙන් මේ රට රකින්න තියෙනවා. ඒක අපිට කරන්න පුළුවන් කියලා ඔප්පු කරපු නායකයෙක් ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් කරලා තිබෙනවා.

අපේ ආණ්ඩුව කාලේ යුද්ධය අවසන් කරලා සම්පත් ගොඩනැගුවා, රටේ වටිනාකම වැඩිකළා. වරායක් හැදෙනකොට රටේ වටිනාකම වැඩිවිනවා, ගුවන් තොටුපොළක් හැදෙනකොට රටේ වටිනාකම වැඩි වෙනවා. අධිවේගී මාර්ග එනකොට මුළු පළාතෙම වටිනාකම වැඩිවෙනවා. මුළු රටේම වැඩ කෙරෙන කොට රටේ වටිනාකම වැඩිවෙනවා. මේ ආණ්ඩුව ඇවිල්ලා අපි හදපු රටේ වටිනාකම ක්‍රමානුකූලව රටෙන් වෙනත් අයට විකුණලා, අපි හදපු දේවල් විකුණාගෙන, විකුණාගෙන ගිහිල්ලා කාලා දාලා තියනවා. මේක නතර කරන්න යුගයක් ඇවිල්ලා තිබෙනවා.මේවා අයිති රටේ අනාගතයේ ඉපදෙන්න ඉන්න දරුවන්ට. නූපන් දරුවන්ට අයිති දේ විකුණන් කන්න කිසිම ආණ්ඩුවකට අයිතියක් නැහැ. මේ ආණ්ඩුව ඒක කරනවා. ඒ වෙනුවෙන් ඔවුන්ව ඉවත් කරන්න කටයුතු කිරීමට අපිට සිද්ධවෙලා තිබෙනවා.

ඒ විතරක් නෙවෙයි අපිට අද ආරක්ෂාවක් නැහැ. බියෙන් සැකෙන් තොරව පසලකට, පල්ලියකට, කෝවිලකට අද අපිට යන්න පුළුවන්කමක් නැහැ. අවුරුදු 30ක යුද්ධය අවසන් කරලා අවුරුදු 10ක් ඉවරකරන්න බැරි වුණා බෝමිබ පිපිරන්න ගත්තා. ආරක්ෂාව ගැන කිසිම හැඟීමක් මේ ආණ්ඩුවට තිබුණේ නැහැ. ඔවුන්ට තිබුණේ පළිගැනීම් ආසාව විතරයි.

එක්සත් ජාතික පක්ෂ ලේකම්තුමා, එක්සත් ජාතික පක්ෂ සංවත්සරේදී කියනවා ජනාධිපතිවරයා එක් පක්ෂයකටත්, අගමැතිවරයා තව පක්ෂයකත් ඉන්නකොට අපිට හරියට පළිගන්න බැරි වුණා කියලා. ඒ නිසා අපිට එක පැත්තකට දෙන්න අපි හොඳට පළිගන්නම් කියලා. ආණ්ඩුවක් පිහිටවන්නෙ පළිගන්න නෙමෙයි. ඒ නිසා අපිට අද හිතන්න වෙලා තියෙනවා. මේ අයගේ පරමාර්ථය මොකක්ද කියලා.

අද බොහොම පැහැදිලිව අපිට රටක් ගොඩනගන්න තියෙනවා. රටේ ආරක්ෂව ගොඩනගන තියෙනවා, අනාගත පරපුර වෙනුවන් මේ රට රකින්න තියනවා. ඒ නිසා අපි ඒක කරන්න පුළුවන් කියලා ඔප්පු කරපු නායකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලා තියෙනවා. අපේ ජයග්‍රහණය ස්ථිරයි." යැයි පවසමින් එම අවස්ථාවේදී පරිසර දිනයට සමගාමීව මහින්ද රාජපක්ෂ මහතා විසින් කොස් පැළයක්ද රෝපණය කරන ලදී.

මෙහිදී හෝමාගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාද අදහස් දැක්විය.

හෝමාගම - සමන්ප්‍රිය දොලමුල්ල