මැතිවරණ කොමිසම යටතේ තිබෙන ඉහළ තනතුරක් වන මැතිවරණ කොමසාරිස් ජනරාල් තනතුර මාස හතකට අධික කාලයක් තිස්සේ  පුරප්පාඩුව පවතින බව වාර්තාවේ.
මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයකු නොමැතිව හෝ වැඩබලන මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයකු යටතේ හෝ මැතිවරණයක් පැවැත්විය නොහැකි යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

වැඩබලන මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයකු
යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය නොහැකි බවත් මැතිවරණයට පෙර එම තනතුරට සුදුස්සෙකු තෝරා ගන්නා ලෙසත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත. ඒ අනුව මේ වන විට මැතිවරණ කොමසාරිස් ජනරාල් තනතුරට අයදුම්පත් කැඳවා ඇති අතර අද (14) ඒ සඳහා සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි.

මැතිවරණ කොමිසම මගින් නිසි ක්‍රමවේදයට අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයකු තෝරා ගෙන ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගැනීම අනිවාරිය වේ. හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්. මොහොමඩ් මහතා ඉකුත් මාර්තු මාසයේදී විශ්‍රාම යෑමෙන් පසු මේ දක්වා එම තනතුර පුරප්පාඩුව පවතියි.

-රංජන් කස්තුරි-