අධිකරණ කටයුතු නිමිවීමෙන් පසු බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පැන යාමට තැත්කරමින් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ සිවිලිමට නැග සිටි සැකකරුවකු බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා  මෙල්ලකර අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව  පොලිසිය කියයි.
අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් විසින් පැය හතරකට ආසන්න කාලයක් එම මෙහෙයුම දියත් කළ අතර කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරින්ගේ සහාය ද ඊට ලැබී තිබිණ.

මෙලස අධිකරණ ශාලාවේ සිරකුටිලයන් පැන යාමට උත්සාහ කර ඇත්තේ අධිකරණයේ විවෘත වරෙන්තුවක් මත ගල්කිරියාගම පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන පසුගිය 11 වැනිදා කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ සැකකරුවෙකි.

අධිකරණයේ පැවැති නඩු කටයුතු නිමවීමෙන් පසුව බන්ධනාගාරගත කිරීමට නියමිතව අධිකරණ ශාලාවේ සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන්  අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙන යාමට බන්ධනාගාර නිලධාරීන්
කටයුතු කරමින් සිටි  අවස්ථාවේ සැකකරු මෙලෙස පලා යාමට උත්සාහ දරා ඇත. එම සැකකරු මීට පෙර අවස්ථාවකදී ද බන්ධනාගාරගතව සිටිය දී බන්ධනාගාරයන් ද පැන ගොස් ඇති බව පොලිසිය කියයි.

අධිකරණ ශාලාවේ සිරකුටියට යාබද ස්ථානයකින් සිවිලිම් කොටසක් කඩා සිවිලිමට නැග ඇති සැකකරු වහලයෙන් පැන පලා යාමට උත්සාහ දරා තිබිණ. සැකකරුට පැන යාමට ඉඩ නොදී වටලා තබා ගැනීමට එම අවස්ථාවේ අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් පොලිසියේ සහාය ඇතිව කටයුතු කර ඇත. පැය කිහිපයක් පුරා අධිකරණ ශාලාවේ සිවිලිමේ රැඳී සිටිමින් බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රතිවිරෝධය පෑ සැකකරු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරිහු විශේෂ මෙහෙයුමක් දියත් කළහ.

පැය හතරකට ආසන්න කාලයක් පැවැති එම මෙහෙයුමට කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරින්ගේ ද සහාය ලැබි තිබිණ. පලා යෑමට තැත්කළ සැකකරු අත්දඩංගුවට ගැනීම සඳහා අමතර බන්ධනාගාර නිලධාරින් කණ්ඩායමක් ද අනුරාධපුර බන්ධනාගාරයේ සිටි එහි කැඳවිමට බන්ධනාගාර නිලධාරීන්ට සිදු විය.බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට
කඳුලු ගෑස් ප්‍රහාරයන් ද යොදාගත් අතර එම උත්සාහයන් ව්‍යර්ථ විම හේතුවෙන් සැකකරුට වෙඩි තබා ඔහු මෙල්ල කර අත්ඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීහු කටයුතු කළහ.

11 වැනිදා රාත්‍රී 8.30ට පමණ සිරකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද පොලිසිය කියයි.වෙඩි තබා මෙල්ල කිරීමේන් පසු බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් සැකකරු බන්ධනාගාර විශේෂ බස් රථයකින් කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට ද බන්ධනාගාර නිලධාරීහු කටයුතු කළහ.සැකකරු නිවාස හිමි ඇතුළු චෝදනා කිහිපයක් එලව ඇති ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේ පුද්ගලයකු බව ද පොලිසිය කියයි.

-තුෂාන් ජයවර්ධන-