සිම්බාබ්වේ සහ නේපාල ක්‍රිකට් කණ්ඩායම් වලට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය යළි ලබාදීමට ඩුබායිහි දී අද රැස්වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ, ඩුබායි නුවර දී නිමා වූ අයි.සී.සී මණ්ඩල රැස්වීමේ දී යි. (ICC Board meetings)

ජගත් ක්‍රිකට් කවුන්සලයේ සභාපති, ප්‍රධාන විධායක නිළධාරී, සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ සභාපති සහ එරට ක්‍රීඩා අමාත්‍යවරිය ඇතුළු බළධාරීන් පිරිසක් අතර පැවැති සාකච්ඡාවකින් පසුව සිම්බ්බාවේ සදහා යළි සාමාජිකත්වය ලබා දීමට තීරණය කළ බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

සිම්බාබ්වේ ක්‍රිකට් පරිපාලනය සදහා දේශපාලන මැදිහත් වීම් සිදු වීම හේතුවෙනුයි එරට සාමාජිකත්වය අත්හිටුවීමට අයි.සී.සී ය පසුගිය ජූලි මාසයේ දී තීරණය කළේ.

කෙසේ වෙතත්, සිම්බාබ්වේ දේශය වෙනුවෙන් යළිත් සාමාජිකත්වය ලබා දීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගැනීමත් සමග ඉදිරියේ දී අයි.සී.සී තරගාවලි සදහා සහභාගී වීමේ අවස්ථාව ඔවුන්ට යළි හිමි වනු ඇති.

මේ අතර, 2016 වසරේ දී තහනම් කෙරුණු නේපාලයේ අයි.සී.සී සාමාජිකත්වය ද කොන්දේසි සහගතව යළි ලබා දීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

රජයේ මැදිහත්වීම වැළැක්වීමට නොහැකි වීම සහ නිදහස් හා සාධාරණ නිළවරණයක් පැවැත්වීමට නොහැකි වීම හේතුවෙනුයි ඔවුන්ට අදාළ තහනම පනවා තිබුණේ.

කෙසේ වෙතත්, මෙම මාසයේ දී නේපාලය විසින් නිළවරණයක් පැවැත්වීමට කටයුතු කිරීමත් සමග අයි.සී.සීය අද තීරණය කළේ ඔවුන්ට ද යළි සාමාජිකත්වය ලබා දීමටයි.