කරුණු පහක් යටතේ චෝදනා එල්ල කරමින් හිටපු ජාතික ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ රාජකාරි කටයුතු පැහැර හැර ඇතැයි  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ චෝදනා සියල්ලම ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.

මේ සම්බන්ධයෙන් චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියාගේ අත්සනින් යුතුව සැප්තැම්බර් මස 24 වැනිදා චෝදනා පත්‍රයක් හතුරුසිංහ මහතා වෙත යොමු කර ඇති අතර, ඊට ඔහු මෙම මස පළමුවැනිදා දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකර එම චෝදනා ප්‍රතිෂ්ප කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතුරුසිංහ මහතා වෙත කළ චෝදනා අතර,
1. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අන්තර්ජාතික සංචාර සඳහා කායිකව සහ මානසිකව ඊට සුදානම් කිරීම සහ සහය කාර්ය මණ්ඩලය සම්බන්ධීකරණය කිරීමට අපොහොසත් වීම,

2. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවශ්‍ය විශ්වාසය ගොඩනැංවීමට සත්‍ය වුවමනාවකින් සහ විශේෂ අවධානයක් යොමු කිරීමට අපොහොසත් වීම,

3. ක්‍රීඩකයන්ගේ එකමුතු බව නැති කිරීමට ඔහුගේ යම් යම් ක්‍රියාකලාප හේතුවී ඇති අතර, කණ්ඩායම් හැගීම සහ ක්‍රීඩකයන් අභිප්‍රේරණය කිරීමට අපොහොසත් වීම,

4. ජාතික පුහුණුකරු ලෙස ඉටුවිය යුතු වගකීම පැහැරහැරීම,

5. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම උල්ලංඝනය කිරීම නිසා (2018 වසරේ පැවති බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී) ඊට වරදකරු වී දඩුවම් ලැබීම යන චෝදනා වේ.

හතුරුසිංහ මහතා ක්‍රිකට් ආයතනයේ මෙම චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කර තිබෙන අතර, ඊට දීර්ඝ කරුණු දැක්වීමද සිදු කර තිබේ.

මීට අමතරව තමාගේ ධුර කාලය තුළ තමන් සිදුකළ රාජකාරී වැඩ කටයුතු කරුණු 74ක දීර්ඝ ලිපියකින් ක්‍රිකට් ආයතනයට දැන්වීමටද හෙතෙම කටයුතු කර තිබේ.

පැතුම් ශ්‍රී විජේරත්න