තාවකාලික තරඟ තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා ජාතිත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සම්බන්ධයෙන් ඉතාමත් ඉක්මනින් පරික්ෂණයක් ආරම්භ කරන බව ශ්‍රී ලංතා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියක් පවසීය.

එංගලන්තයේදී පසුගිය ජුලි මස අවසන් වු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අසාර්තකත්වයෙන් පසුව හතුරුසිංහ මහතාගේ සේවය අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන් පසුව හතුරුසිංහ මහතාට චෝදනා පත්‍රයක් යොමු කළ අතර එයට හතුරුසිංහ මහතා
දින 14 ක් තුළ පිළිතුරු සපයා තිබුණි.

හතුරුසිංහ මහතා සම්බන්ධ පරීක්‍ෂණය සඳහා විශ්‍රාම ලත් විනිශ්චකාරවරයකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන බව ද දැනගන්නට තිබේ.

හතුරුසිංහ මහතා ඉවත් කිරීමෙන් පසුව වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා ඡාතික කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස සංචාරක කීපයකදීම කටයුතු කළේය.

හතුරුසිංහ මහතා ජාතික කණ්ඩායමක් සේවයෙන් තාවකාලිකව ඉවත් කළ ද ඔහුට ජාතික කණ්ඩායමේ පුහුණුකරුව හිමි රුපියල් ලක්ෂ 80 කට ආසන්න මාසික වේතනය පසුගිය අගෝස්තු මස සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙනු ලැබ තිබේ.

හතුරුසිංහ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගිවිසුමට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒක පාර්ශවිකව පිවිසුම අවසාන කරන්නේ නම් පුහුණුකරු සදහා වසරක වැටුප් හෝ ගිවිසුමේ ඉතිරි කාලය සදහා වැටුප් හෝ යන අගයන් දෙකෙන් වඩා අඩු අගය ගෙවිය යුතුය. හතුරුසිංහ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගිවිසුම ලබන වසරේ (2020) දෙසැම්බර් මස 31 වැනිදා අවසන් වීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊට පෙර පිවිසුම අවලංගු කරන්නේ නම් රුපියල් කෝටි 10 ක පමණ මුදලක් හතුරුසිංහ මහතාට ගෙවීමට සිදුවේ.

යොහාන් භාසුර