අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරින් කිහිප දෙනෙකුගේ හා දේශපාලනඥයන්ගේ මැදිහත් වීම මත ජනප්‍රිය පාසල්වලට හා ප්‍රධාන පෙළේ ජාතික පාසල්වලට මේ වනවිට
සිසුන් ඇතුළත් කිරීමේ නීතිවිරෝධී කටයුතු සිදුවෙමින් ඇතැයි ලංකා ගුරු සංගමය සදහන් කරයි.

මේ නිසා සමහර පාසල්වල පන්තියක සිටිය යුතු ළමයින් ප්‍රමාණය හතළිස්පහේ සිට හැට දක්වා ඉහළ ගොස් තිබෙන බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටලින් මහතා සඳහන් කළේය.

මේ ආකාරයට දෙක විසරේ සිට දහය වසර දක්වා පන්තිවලට ළමයින් ඇතුළත් කරන බවත්, මේ නිසා විදුහල්පතිවරුන් සේම ගුරුවරුද දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවත් ඔහු කියා සිටියේය.

වසර අවසානයේදී ළමයින් ඇතුළත් කිරීම නීතිවිරෝධී කටයුත්තක් බවත්, මේ නිසා මේ පිළිබඳ පරික්ෂා කර බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අද (08දා) දිනයේ ජනාධිපතිවරයාට හා අධ්‍යාපන අමාත්‍යවරයාට ලිඛිතව පැමිණිලි කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

පන්ති කාමරයක සිටිය හැකි උපරිම ළමයින් ප්‍රමාණය 45ක් බවත්, ක්‍රමානුකූලව එය 35ක් දක්වා අඩුකළ යුතු බවත් හෙතෙම පවසා සිටියේය.

එහෙත් මේ වනවිට 45 සීමාව හැට දක්වා ඉහළ යමින් තිබෙන බවත්, මෙම තත්වය නිසා ළමයින් ඇතුළත් කරන පත්තිවල අනවශ්‍ය තදබදයක් ඇති වෙමින් තිබෙන බවත් ජෝසප් ෂ්ටාලින් මහතා කියා සිටියේය.

ඉන්දික හේවාවිතාරණ