හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය
දෙසැම්බර් මස 20 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම දෙසැම්බර් මස 10 වන දා විභාගයට ගන්නා බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් අද  බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

ඒ අනුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පැවැත්වෙන සාක්ෂි විභාගය අත්හිටුවමින් දැනට පනවා තිබෙන තහනම් නියෝගය දෙසැම්බර් මස 20 වනදා දක්වා දීර්ඝ කරන බවද ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල සඳහන් කළේය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත්
දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ලබන 15 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට ද නියමිතව තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සමෙන් සඳහන් කර තිබෙන්නේ තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන නඩුව විභාග කිරීමට එම අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවයි.

එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමේ තීරණය වැරදි සහගත බව සඳහන් කරමින්  තමන් විසින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එයද ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළ බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

එබැවින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ සහ අභියාචනාධිකරණය විසින් දී ඇති තීන්දු ප්‍රතිශෝධනය කර තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකර ඇති පෙත්සමෙන් ඉල්ලා ඇත.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව හම්බන්තොට, මැදමුලන, ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබේ.