වසර 03කට ආසන්න කාලයකදී (2016 සිට 2019 ජූලි දක්වා) ලංකා විදුලිබල මණ්ඩලය හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා රුපියල් කෝටි 522කට වැඩි මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

එමෙන්ම 2018 වර්ෂය වනවිට විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 296,238ක් මහා භාණ්ඩාගාරයෙන් ණය වශයෙන් ලබාගෙන ඇති පසුබිමක මෙසේ හදිසි මිලදී ගැනීම් සිදු කිරීම නුසුදුසු බව කෝප් කමිටුව සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයෙන් ප්‍රශ්න කළ අතර, ජනන සැලැස්මට අනුව අවශ්‍ය බලාගාර නිසියාකාරව ඉදී නොවන නිසා මෙසේ හදිසි මිලදී ගැනීම් සිදුවන බව එම මණ්ඩලයේ නිලධාරීහු ප්‍රකාශ කළහ.

ටෙන්ඩර් ක්‍රියාවලිය අක්‍රිය වී හදිසි මිලදී ගැනීම් සක්‍රීය වී ඇතැයි පොදු
ව්‍යාපාර පිළිබඳ කමිටුවට නිරීක්‍ෂණය වන බව මෙහිදී කමිටුව ප්‍රකාශ කළ අතර, මෙම තත්වය වළක්වාගැනීමට දිගුකාලීන ජනන සැලැස්ම නිසියාකාරව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.

එසේම රුපියල් බිලියන 03ක වියදමින් ප්‍රවාහනය කළ හැකි විදුලි ජනන යන්ත්‍ර 50ක් මිලදීගෙන තිබුණද, ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය ඩීසල් හිඟකම ආදී හේතු දක්වමින් ඒවා නිසියාකාරව ක්‍රියාත්මක නොවීම පිළිබද කමිටුව ප්‍රශ්න කළ අතර, මෙම යන්ත්‍ර මිලදී ගැනීම සිදු වූ ආකාරය සහ වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ලබාදිය යුතු බවද නියෝග කරන ලදී.

තවද 2013ළංක 31 දරන ශ්‍රී ලංකා විදුලි පනතේ 43 වගතියට පටහැණිව තුර්කි සමාගමෙන් (Powership of karadeniz holding of Turkey) හදිසි විදුලි මිලදී ගැනීම් සිදු වූ ආකාරය පිළිබඳ කෝප් කමිටුව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අතර, මෙම තුර්කි සමාගම සමග පැවැත්වූ රැස්වීම් ආදියෙහි වාර්තා කෝප් කමිටුව වෙත වහා ඉදිරිපත් කරන ලෙසද නිර්දේශ කරන ලදී.

එසේම ඒසීරී ඇඹිලිපිටිය (ACE POWER EMBILIPITIYA (pvt) Ltd) නමැති
ආයතනයෙන් අඛණ්ඩව හදිසි මිලදී ගැනීමි සිදුකර ඇති බවත්, 2021 අප්‍රේල් මාසය වන තෙක් මෙම සමාගම සමග මිලදී ගැනීම් සඳහා ගිවිසුම්ගත වී ඇති බවත් මෙහිදී අනාවරණය විය.

මේ වනවිටත් මෙම සමාගම රුපියල් මිලියන 2,500ක් පමණ ලාභ ලබාගෙන ඇති බවද කෝප් කමිටුවේ අවධානයට යොමු වූ අතර, විදුලි මිලදී ගැනීම් මිල සූත්‍රය සියලු දෙනා දැනගැනීම් අවශතාවද එහිදී පෙන්වා දෙන ලදී. එසේම මෙම තීරණ ගැනීමේ ක්‍රියාවලිය සවිස්තරාත්මකව පැහැදිලි වන, අඩුම තරම් වසර 02කවත් තොරතුරු දැනගත හැකි ආකාරයෙන් සකස් වන විගණකාධිපති වාර්තාවක් සකස් කිරීමට කෝප් කමිටුව විසින් විගණකාධිපති දෙපාර්තමේන්තුවටද එහිදී නිර්දේශ කරන ලදී.

මෙම කරුණු අනාවරණය වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති පොදු ව්‍යාපාර පිළිබඳරැස්වීමේදීය. එම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂමන් සෙනවිරත්න සහ අජිත් පී. පෙරේරා යන මහත්වරු සහභාගි වූහ.

චාමර සම්පත්