ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබු පෙත්සම නිෂ්ප්‍රභා කර තීන්දුව ප්‍රකාශයට පත් කරද්දී අධිකරණය තුළ සිටි පිරිසක් අත්පුඩි ගසමින් ප්‍රීති ඝෝෂා කිරීම ගැන අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සිය අප්‍රසාදය ඊයේ (04) පළ කළා.

මේ අධිකරණ ශාලාව තුළ එම අවස්ථාවේ ඇතිවූ දෙබස.

විනිසුරු යසන්ත කෝදාගොඩ –

“මේ අධිකරණය ඒකමතික තීරණයකට පැමිණ තිබෙනවා.ඒ තමයි වගඋත්තරකරුවන්ට මේ පෙත්සමේ නොතීසි නිකුත් නොකරන බව , එම නිසා මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරනවා.”

(නීතිඥවරුන් අත්පොළසන් දෙමින් ප්‍රීති ඝෝෂා පවත්වයි.එය නැවත්වීමටවිනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අණ කරයි.)

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා –

සමාවෙන්න ස්වාමීනි ! මා ඉතා බැගෑපත්ව සමාව ඉල්ලනවා.

විනිසුරු යසන්ත කෝදාගොඩ –

මෙය කනගාටුදායක,කම්පනය දනවන සහ පිළිකුල්සහගත හැසිරීමක්.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා –

⁣මම සම්පූර්ණයෙන්ම එයත් සමග එකග වෙනවා.සම්පූර්ණයෙන්ම ලැජ්ජාවට පත් වෙනවා. මට ලැජ්ජයි. මා ඉතා කනගාටු වෙනවා.

විනිසුරු යසන්ත කෝදාගොඩ –

සමාව ගැනීම උත්තරය නොවේ.
මම විශ්වාස කරනවා,එම අවමං සහගත හැසිරීමට කිසිදු නීතිඥයෙක් සහභාගී වී නැහැ කියලා. යම් සාක්ෂියක් තිබේනම් නීතිඥවරු ඊට සම්බන්ධ වූ බවට, එම නීතිඥවරු සම්බන්ධයෙන් නිතීයට අනුව කටයුතු කරනවා.