කොළඹ මහනුවර මහා මාර්ගයේ නිට්ටඹුව  මල්වත්තේදී මෝටර් රථයක් හා යතුරුපැදියක්  එකිනෙක ගැටී යතුරුපැදියේ පසුපස අසුනේ වාඩි වී ගමන්ගත් තරුණ සිසුවියක මාර්ගය මතට ඇද වැටී ලොරියකට යටවී බරපතළ තුවාල ලබා මියගිය බව නිට්ටඹුව මුලස්ථාන පොලිසිය පවසයි. පෙරේදා (12) දහවල් 11.10ට පමණ
සිදු වූ මෙම අනතුරින් තුවාල ලබා වතුපිටිවල රජයේ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගියේ බේම්මුල්ල, කඹුරුගොඩ, සමඟි මාවත, අංක 9/7 දරන නිවසේ පදිංචිව සිට ඇති ලේන්දුව ලොකුගේ හිරුණි නවෝදා මධුෂානි (19) නමැති තරුණියක බව නිට්ටඹුවේ පොලිසිය කියයි.

ඇය යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ කලා විෂය ධාරාවෙන් ඉගෙනුම ලබමින් සිට ඇති සිසුවියකි. උපකාරක පංතියකට සහභාගිවීම සඳහා සිය වැඩිමහල් සහෝදරයා ද සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සිසුවිය මෙම මාරක අනතුරට ගොදුරු වී තිබේ. 
යතුරුපැදිය ධානය කළ සිසුවියගේ වැඩිමහල් සොහොයුරුවන ලේන්දුව ලොකුගේ ධනුක මධුශංක (23) නමැති තරුණයාද මෙම අනතුරෙන් තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලේ අංක 7 දරන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

එකම පවුලේ සොයුරු සොයුරියන් වන මෙම දෙදෙනා රැගත් යතුරුපැදිය කොළඹ දෙස සිට නිට්ටඹුව නගරය දෙසට කොළඹ මහනුවර මහා මාර්ගය ඔස්සේ ධාවනය කර ඇති බව ද අතුරු මාර්ගයකට  (ල්වත්ත කත්තොට පාර) හැරවීම සඳහා නිට්ටඹුව මල්වත්ත හන්දියේ නිට්ටඹුවේ නගරය දෙසට මුහුණලා නවතා තිබී ඇති මෝටර් රථයක් පිටුපස යතුරුපැදිය ගැටී දෙදෙනාම සමග යතුරුපැදිය මහා මාර්ගය මතට ඇද වැටී ඇති බව ද ඒ සමගම නිට්ටඹුව නගරය දෙසට ධාවනය වෙමින් තිබූ ලොරීයකට සිසුවිය යටවී ඇති බවද පොලිසිය කියයි.

ලොරිය සහ එහි රියැදුරු ද යතුරුපැදිය ගැටුණු මෝටර් රථයද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. වේයන්ගොඩ බෙම්මුල්ල කොට්ඨාසයේ හදිසි මරණ පරික්ෂක වෛද්‍ය චන්ද්‍රසිරි මාරසිංහ මහතා විසින් මියගිය සිසුවිය පිළිබඳව හදි මරණ පරීක්ෂණය වතුපිටිවල මූලික රෝහලේදී ඊයේ (13)  දහවල් පැවැත්විමට නියමිතව තිබුණි.

-ඒස්.යු.ඩබ්ලිව්.කේ.ජයවර්ධන-