තම ගෙවත්තේ කාණුවක් කපමින් සිටියදී හමුවූ කහ පැහැති වටිනා මැණික් ගලක් බවට පවසන ගලක් සමඟ 66 හැවිරිදි පුද්ගලයාද පැහැරගෙන ගොස් එම ගල කොල්ලකෑ බව කියන පොලිස් කොස්තාපල් රියැදුරෙක් සහ තවත් අයෙක් මාදම්පේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙර්දා (05) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මිල තත්සේරු කර ඇති මෙම ගල කුමන වර්ගයේ එකක්ද යන්න පිළිබඳවත් තහවුරු කර ගෙන නොතිබූ බවද පොලිසිය කියයි.  මෙම සිද්ධියට සම්බන්ධ බව කියන තවත් පස් දෙනෙක් අඩංගුවට ගැනීමට සහ පැහැරගත් මැණික් ගල සොයාගැනීමටද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් කොස්තාපල් රියැදුරා ගම්පහ පොලිස් අධිකාරි කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක රාජකාරි කරන නාත්තන්ඩිය, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි.

පසුගිය 3 දා පස්වරුවේ මාදම්පේ පොලිසිය වෙත පැමිණී  කාක්කපල්ලිය, පම්බල පල්ලිය පාරේ
පදිංචි මිහිඳුකුලසූරිය ගැලටිවින් තිසේරා නමැති 66 හැවිරිදි අයෙකු තමන් වෙත තිබූ මිල කළ නොහැකි වටිනාකමක් ඇති මැණිකක් මිලදී ගැනීමට මෝටර් රථයකින් පැමිණි තිදෙනකු මැණික පරික්ෂා කර මෙහි සැබෑ වටිනාකම පරික්ෂා කිරිම පිණිස ඊට යෙදිය යුතු රසායන ද්‍රව්‍යයක් රෑගෙන තම මිතුරන් පිරිසක් පැමිණෙන බව කියමින් සිය නිවසහි රැඳී සිටි බවත් පසුව වෙනත් මෝටර් රථයකින් පැමිණි නාඳුනන තිදෙනෙකු තමා හා මැණීක මිළදී ගැනීමට පැමිණි පිරිසද බියගන්වා මැණික මිලදි ගැනීමට පැමිණ සිටි පිරිසේ එක් අයකුගේ දෑතට විලංගු දමා මැණික සමග පිරිස හා තමා වාහනවල නංවාගෙන පලාගිය බවත් පසුව එම පිරිස තමාව කුඩාවැව, හොර
වංගුව අසල දී වාහනයෙන් බිමට දමා මැණිකද රැගෙන පලාගිය බවත් පොලිසියට පැමිණිලි කර ඇත.

මුලින්ම මැණික මිල දී ගැනීමට පැමිණි පිරිස ආ මෝටර් රථයේ අංකයද පොලිසියට ලබා දී ඇත. ඒ අනුව සිදු කළ පරීක්ෂණවලදී එක් සැකකරුවකු කොස්වත්ත පොලිස් වසමේ මැල්ලව ප්‍රදේශයේදී සිය නිවසේ සිටිය දී අත්ඩංගුවට ගෙන ඇති අතර පසුව පෙරේදා (5) පස්වරුවේ නීතිඥයකු මාර්ගයෙන් තවත් සැකකරුවකු ද පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බිව පොලිසිය කියයි.

ජපානයේ වසර ගණනාවක් රැකියාව කර පැමිණ සිටින 66 හැවිරිදි වියේ පසුවන පැමිණිලිකරුට මිට මාස ගණනාවක ඉහතදී කහ පැහැති ගලක් හමුවි ඇත් බැකෝ යන්ත්‍රයක් ගෙවත්තේ කානුවක් කපමින් සිටියදී බව කියති. ඔහු මෙම කහ පැහැති ගල මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ගෙන ගොස් පරික්ෂාවට ලක් කළ අවස්ථාවේ මෙම වර්ගය මැණිකක් මිල කිව නොහැකි බවත් ඒ නිසා මිලක් තක්සේරු කළ නොහැකි බවත් ඔහුට පවසා ඇත.

කහ පැහැති ගල මොහු විකුණා දෙන ලෙස කිහිපදෙනෙකුට පවසා ඇති අතර ඒ අනුව අනුරාධපුරය ප්‍රදේශයේ පිරිසක් පැමිණ මැණික කෝටි 15 ක මිලදී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවද පැවසේ. එහෙත් මැණික වැඩි මුදලකට විකිණීමේ අපේක්ෂාවෙන් ඔහු ඊට අකමැති වී ඇත. පැහැරගැනීමේ සිද්ධිය සිදුවී ඇත්තේ ඉන් අනතුරුව බවද පොලිසිය කියයි.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-