හෙරොයින් වැරදි දෙකක් සම්බන්ධයෙන් වරෙන්තු දෙකක් ලැබ අධිකරණය මගහැර සිටි සැකකරුවෙක් හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 470ක් සමග හම්බන්තොට සමගිපුර ප්‍රදේශයේ දී තංගල්ල කොට්ඨාස
සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරින් විසින් ඉකුත් 26 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

එලෙස අත්අඩංගුවට පත් වූයේ හම්බන්තොට පදිංචි 37 හැවිරිදි දෙදරු පියෙකි. සැකකරු කලක් තිස්සේ හෙරොයින් මත්කුඩු පානය සඳහා ඇබ්බැහි වී සිටින අයකු බවත් සැකකරුට එරෙහිව හෙරොයින් මත්කුඩු ළග තබාගැනීම සම්බන්ධ නඩු 03ක් පවතින බවත්, ඊට අදාළ නඩු සඳහා අධිකරණයේ පෙනී නොසිට අධිකරණය මගහැර සිටීම හේතුවෙන් සැකකරුට එරෙහිව හම්බන්තොට මහාධිකරණයෙන් හා තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු දෙකක් ද නිකුත් කර තිබෙන බවත් මූලික පොලිස් පරික්ෂණවල දී අනාවරණය වි තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුට මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින පුතකු ද වෙයි. පියා අධික ලෙස හෙරොයින් මත්කුඩු සඳහා ඇබ්බැහි විම නිසා තමන්ට පාඩම් වැඩ කර ගැනීමට ද නොහැකි හෙයින් සාමාන්‍ය  පෙළ විභාගය අවසන් වන තෙක් පියා රක්ෂිත බාරයේම තැබීමට කටයුතු කරන්නැයි ද පුතා තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට පොලීසියට බාර දී ඇති අතර හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

-දිලීප් ජයසේකර-