මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින දෙහිවල ප්‍රදේශයේ මහා පරිමාණ මත්කුඩු ජාවාරමකරුවකු වන සමන්ත පෙරේරා හෙවත් 'චුවා සමන්ත'නමැත්තාගේ මුදල් කටයුතු බාරව ක්‍රියා කරන
පුද්ගලයකු රුපියල් 75,000ට අධික හොරොයින් තොගයක් සමග විශේෂ කාර්ය බළකා මුලස්ථානයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් පෙරේදා (26) අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
චුවා සමන්ත නමැන්නාගේ හෙරොයින් ජාවාරම් ඇතුළු ජාවාරම්වල
මූල්‍යම ගනුදෙනු කරන්නේ මෙම සැකකරු බැවින් මූල්‍ය ගනුදෙනුවලට අමතරව බන්ධනාගාරගත කර සිටින සමන්ත නමැන්නාට ආහාර පාන ඇතුළු භාණ්ඩ රැගෙන යාම, ඔහු බැලීමට යන සගයන්ට වෙලාවල් වෙන්කර දීම ආදී කටයුතු මෙහෙයවන්නේ මෙම සැකකරු විසින් බව විශේෂ කාර්ය බළකාය තොරතුරු හෙළි කරගෙන ඇත.

මොහු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව දෙහිවල ප්‍රතිබිම්සනාරාම පාරේ දි ඉකුත් 26 වැනි දින මොහු අත්අඩංගුවට ගෙන තිබුණි. මහා පරිමාණ හෙරොයින් නඩු පහක්, ඝාතන නඩු දෙකක් හා ආයුධ ළඟ තබා ගැනීමේ නඩු තුනක් චුවා සමන්ත  නමැන්නාට ඇති බවත් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඔහු දැනට බන්ධනාගාරගතව සිටින බව ද විශේෂ කාර්ය බළකාය කියයි.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේ මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ භට කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

-ඉන්දිකා රාමනායක-