යුද සමයේදී අතුරුදන් වූවන් සොයාදෙන ලෙස ඉල්ලා යාපනයේ සංවිධානය කරන ලද විරෝධතාවකදී
විරෝධතාකරුවන් පිරිසක් යාපනයේ අතුරුදන්වූවන් සොයා බැලීමේ කාර්යාලයට ගොම ප්‍රහාරයක් එල්ල කොට ඇත.

යාපනය  ආදියපාදම් මාර්ගයේ පිහිටි මෙම අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ සොයා බැලීමේ ප්‍රාදේශීය
කාර්යාලය ඉදිරිපිටදී පෙරේදා (1දා) යෙදී තිබූ ජාත්‍යන්තර ළමා දිනය, වැඩිහිටි දිනය වෙනුවෙන්
අතුරුදන්වූවන්ගේ ඥාතීන් හා යුද්ධයෙන් මියගිය අයගේ ඥාතීන් පැවැත්වූ විරෝධතාවක් අවස්ථාවේ එම
කාර්යාලයට ගොම ප්‍රහාරයක් එල්ල කර ඇත.

යුද සමයේ අතුරුදන්වූ තම දරුවන් හා වැඩිහිටියන් සොයාදෙන ලෙසට හා යුද්ධයෙන් මියගිය තම දරුවන්ගේ
මරණය වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙසට ඉල්ලීම් කරමින් අදාළ පිරිස එලෙස විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාකරුවන් අතුරුදන්වූවන්ගේ හා යුද්ධයෙන් මියගිය පිරිස්වල ඡායාරූප ප්‍රදර්ශනය කරමින් පැවැසුවේ
රජය අතුරුදන්වූවන් සොයාදෙන ලෙසට යැයි පවසමින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් මුළා කිරීමට අතුරුදන්වූවන්
සම්බන්ධයෙන් වන කාර්යාලයක් විවෘත කළද ඉන් කිසිදු සෙතක් මේ වන විට සිදුව නොමැති හෙයින් එම
කාර්යාලය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවටත් එම කාර්යාලය යාපනයට හෝ උතුරට අනවශ්‍ය බවත්ය.

එමෙන්ම මෙරට අතුරුදන්වූවන්ගේ ගැටලුවට හා යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් දේශීය
ක්‍රියාවලියක් තුළින් සාධාරණය ඉටු නොවන බැවින් ඒ වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් වහාම
පැවැත්විය යුතු බවද, විරෝධතාකරුවන් වැඩිදුරටත් පැවැසූ අතර විරෝධතාව අවසානයේ එහි සිටි පිරිසක්
අතුරුදන්වූවන්ගේ කාර්යාලයට විරෝධතාව පළ කරමින් මෙසේ ගොම ප්‍රහාර කිහිපයක්ද එල්ල කොට ඇත.

මුලතිව් - ශෂි කුමාර් වවුනියාව - රසාදි චතුරංගි ගමගේ