කුකුළු මස් හා බිත්තර පාලන මිලක් යටත් අලෙවි කිරීමට කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයන් හා කෘෂිකර්ම අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් කර තිබේ.

ඉදිරි උත්සව සමයේදී හිඟයකින් තොරව සාධාරණ මිලක් යටතේ මස් හා බිත්තර අලෙවි කිරීම සඳහා මෙම එකගතාව ඇතිකරගෙන තිබේ.

මේ අනුව සම සහිත කුකුළු මස් කිලෝවක් රුපියල් හාරසිය පනහත්, හාරසිය හැටත් අතර මුදලකට අලෙවි කිරීමට හා සම රහිත කුකුළු මස් කිලෝවක් රුපියල් පන්සිය හැත්තෑවක මුදලකට අලෙවි කිරීමට එකඟ වී තිබේ. ලබන ජනවාරි මාසය දක්වා මෙම මුදලට කුකුළු මස් අලෙවි කිරීමට නිෂ්පාදකයන් තීරණය කර තිබේ.

මීට අමතරව බිත්තර තොග අලෙවි කිරීමේදී රුපියල් දාහතක මුදලකට අලෙවි කිරීමට තීරණය කර තිබෙන අතර,මේ අනුව බිත්තරයක සිල්ලර මිල රුපියල් 19ක් වැනි මුදලකට අලෙවි කිරීමට සිල්ලර වෙළෙඳුන්ට හැකිවන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

කුකුළු මස් නිෂ්පාදකයන් හා බිත්තර නිෂ්පාදකයන් කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා සමග පැවැති සාකච්ජාවකදී මෙම එකඟතාවයන්ට පැමිණ තිබේ.

එච්.අයි. තුෂාර