බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස්රථ ධාවනය වීමේදී ඒ ඒ මාර්ග සඳහා ලබාදී තිබෙන කාලය ඉක්මවා ධාවනය කෙරන බස් රථවලට දඩුවමක් වශයෙන් ගමන් වාර අත්හිටුවිමට බස්නාහිර
පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන ඇත.

විශේෂයෙන් බස්රථ කොට කොටා යාම හා බස් නැවතුම්පොළේ වැඩි වේලාක් නතර කර තැබිම වැළැක්වීම අරමුණු කරගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පවසන බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත්
පෙරේරා මහතා බස්රථ කොට කොටා යාම හා නැවතුම්පොළවල බොහෝ වේලාවක් නතර කරගෙන සිදුවීම සම්බන්ධයෙන් මගීන්ගෙන් නිතර නිතර පැමිණිලි ලැබෙන බවද පැවසීය.

මේ යටතේ ඒ ඒ මාර්ග සඳහා නියමිත ගමන් කාලයක් ලබාදි ඇතැයි පවසන සාමාන්‍යධිකාරි ජගත් පෙරේරා මහතා ගමන ආරම්භයේදී මෙන්ම ගමනාන්තයේදි බස් රථය පිටත්වූ වේලාව සහ ගමනාන්තයට පැමිණි වේලාව සටහන්
යන්ත්‍රයේ සටහන් කළ යුතු බවද එයට අමතරව ගමන් මාර්ගයේ අතරමැද ද වේලාව සටහන් කිරීමට යන්ත්‍රයක් සවිකර තිබෙන බවද කීය.

බස්නාහිර පළාතේ බස් ධාවන මාර්ග 475ක් පවතින බවත් දැනට ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල මාර්ග කිහිපයක ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ කොළඹ දිස්ත්‍රික්කයේ මාර්ගවලද  ඉදිරියේ ක්‍රියාත්මක කෙරෙන බවද ඔහු පැවසීය.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

මහින්ද නිශ්ශංක