අනුරාධපුර තිරප්පනේ සිට උසස් පෙළ පෞද්ගලික පන්තියකට සහභාගිවීමට කුරුණෑගල නගරයට පැමිණි සිසුවියක පැහැරගෙන යාමට උත්සාහ දැරූ බව කියන තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව
කුරුණෑගල පොලීසිය පවසයි. පැහැරගැනීම් සිද්ධියට ලක්වූ සිසුවිය 16  හැවිරිදිය. ඇය තිරප්පනේ සිට පෞද්ගලික පත්තියට සහභාගිවීම සඳහා පෙරේදා (10) අලුයම 5.30ට පමණ බසයකින් කුරුණෑගලට පැමිණ තනිවම පා ගමනින් මහනුවර මාර්ගයේ පිහිටි පන්තියට යමින් සිටියදී පැහැර ගැනීමේ සිද්ධියට මුහුණපා ඇත.‍යතුරුපැදියකින් පැමිණ ඇති තරුණයන් දහදෙනකු සිසුවිය බලහත්කාරයෙන් අල්ලාගන යතුරුපැදියේ තබාගත පැහැරගෙන යාමට උත්සාහ දරා ඇත.

මේ අවස්ථාවේදී සිසුවිය සතුව තිබූ ජංගම දුරකථනය ද පැහැරගත් සැකකාර තරුණයකු දියණිය කප්පමක් ලබා ගැනීම සඳහා පැහැරගෙන යන බවට සිසුවියගේ පියාට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බව ද ලපාලිසිය කියයි.මත්කුඩු මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණින් කප්පම් ගැනීමට
මෙම පැහැරගැනීම සිදුකළ බවට පොලිසිය සැකකරයි.


සිසුවියට බලහත්කාරකමක් කරන බව දුටු  එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු ඒ බව සිද්ධිය වෙමින් තිබූ ස්ථානය ආසන්නයේ ඇති කුරුණෑගල අධිකරණය සංකීර්ණයේ රාත්‍රි ආරක්ෂක කටයුතුවල යෙදී සිටි පොලිස් නිලධාරින්ට වහා දැනුම් දී ඇත.  අධිකරණ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් යතුරුපැදියත් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගනිද්දී අනෙක් සැකකරු පොලීසියට හසුනොවී පලාගොස් ඇත.

මේ අවස්ථාවේදී ඔවුන්ගෙන් බේරුණු සිසුවියද කුරුණෑගල පොලිස් ස්ථානය වෙත වහා දිවගොස් තමන් මුහුණ දුන් සිද්ධිය පැමිණිලි කර ඇත. මෙම සිද්ධියට පෙර මෙම සැකකරුවන් දළදනාම අනුරාධපුර ප්‍රදේශයේ
පෞද්ගලික ආයතනයක සේවයට යාමට පැමිණි තරුණයෙකු බිය ගන්වා ඔහු සතුව තිබූ රුපියල් පන්දහසක මුදලක්ද පැහැරගත තිබූ අතර මේ අවස්ථාවේදීම එම පුද්ගලයාද ඒ  සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසියට පැමිණිලි කිරීමට පැමිණ ඇත.

සියලු පැමිණිලි සැලකිල්ලට ගත් කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල අධිකාරි මහතා එම අවස්ථාවේදීම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇත.
පොලිස් නිලධාරින්ට හසුනොවී  පලාගොස් සිටි අනෙක් සැකකරුද පසුව ඉතා සූක්ෂම ලෙස අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී ඇත. මෙම සැකකරු පාසල් සිසුවියගෙන් පැහැරගත් ජංගම දුරකතනය මගින් එම සිසුවියගේ පියා සමඟ කප්පම් මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් දුරකතන සංවාදයක යෙදමින් සිට ඇති
බව පොලීසිය කියයි.

සිසුවියගේ පියාද මෙම සිදුවීම වන අවස්ථාවේදී මෝටර් රථයකින් කිසියම් අවශ්‍යතාවක් සඳහා කුරුණෑගල දෙසට ගමන් කරමින් සිට ඇත. ඒ අනුව ඔහුගෙන්ද සහාය ලබා ගනිමින් පලාගොස් සිටි සැකකරු කුරුණෑගල නගරයේදීම

අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇත.

සැකකරුවන් කුරුණෑගල හෙරළියාවල සහ පොතුහැර නයිලිය පදිංචිකරුවන් බවට හසුනාගෙන තිබේ. විසිපස් හැවිරිදි වියෙහි පසුවන මෙම සැකකරුවන් දෙදෙනාම මත්කුඩු භාවිතයට තදින් ඇම්බැහි වූවන් බව ද අනාවරණය වී තිබේ. මොවුන් මත්කුඩු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණීන් සිසුවිය පැහැරගෙන කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ දරා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී තිබේ.  මීට පෙරද අවස්ථා තුනකදී කුරුණෑගල නගරයට පැමිණ පාසල් සිසුන් සහ වෙනත් පුද්ගලයන් බිය ගන්වා ඔවුන්ගේන් මුදල් කප්පම් ලබා ගැනීම් සිද්ධීන් තුනක් සම්බන්ධයෙන්ද මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සැකකරුවන් බවද පොලීසිය කියයි.

කුරුණෑගල නගරයට පැමිණ සිටි ආබාධිත හමුදා සාමාජිකයකුට පහරදී කැපුම් තුවාල සිදුකර ඔහුගෙන් මුදල් පැහැරගැනීමේ සිද්ධියකට ද මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධ බව පොලීසිය කියයි. තුවාල ලද ආබාධිත හමුදා සාමාජිකයා තවමත් කුරුණෑගල ශික්ෂණය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලීසිය සඳහන් කරයි. සැකකරුවන් දෙදෙනා මෙම කොල්ලකෑම් සඳහා යොදාගත් උල් පිහියක්ද පොලිසිය සොයාගෙන තිබේ.