ගෝඨාභය ජනපති වුවත් සජිත් ජනපති වුවත් නියමිත කාලය අවසන් වනතුරු ලංකාවේ අගමැතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ යැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමැති අජිත් පී. පෙරේරා පවසයි.

හෙතෙම මේ බව පැවසුවේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ කොළඹ කාර්යාලයේදී පෙරේාදා (06දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

අජිත් පී. පෙරේරා ඇමැතිවරයා මෙසේද පැවැසීය.

ජනපතිවරණයෙන් කවුරුන් බලයට පැමිණියද පාර්ලි​මේන්තුවේ නියමිත කාලය අවසන් වන තුරු
මහමැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් ඇත්තේ නෑ. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් නොමැතිව කරන්න නොහැකියි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මත මේ අවස්ථාව අගමැති රනිල් වික්‍රමසිංහට හිමිවෙනවා.

මේ වන විටත් එජාප නායකත්වය හිමිව ඇත්තේ රනිල් වික්‍රමසිංහටයි. ජනපතිවරණයෙන් පසුවද මේ රටේ එජාප නායකත්වය රනිල් වික්‍රමසිංහයි. මෙය වෙනස් වෙන්නේ ද නැද්ද කියල පසුව අපි තීරණය කරනවා. මොකද අපි එජාප පිරිස වැදගත් ආකාරයට තමයි තීන්දු තීරණ ගන්නේ. ජනපති වශයෙන් සජිත් ප්‍රේමදාස තේරීපත්වූ පසුව එජාප නායකයා කව්ද කියා අපේ පක්ෂයේ පරිණත දක්ෂ නායකයන් තීන්දුවක් ගන්නවා. එයට කිසිවෙක් කලබල වෙන්න එපා.

ජනපතිවරණයෙන් ලංකාවේ අගමැතිවරයා පත් කරන්නේ නෑ. අගමැතිවරයා පත් කරන්නේ පාර්ලිමේන්තුවයි. ජනපතිවරණයෙන් පසුව අගමැති මහින්ද රාජපක්ෂ පත් කරන්නට නම් කිසිදු හැකියාවක් නෑ. එහෙම සමහරු හිතාගෙන සිටියට නීතිය අනුව වෙන්නේ නෑ.