ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ මොරටුව හිටපු සංවිධායකවරයෙක් මෙන්ම බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රීවරයෙකි. පසුකලක එජාපයෙන් ඉවත් වූ ඔහු වර්තමානයේ ජාතික ජනතා
පක්ෂයේ මහලේකම් තනතුර හොබවයි. හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මෙවර ජනපතිවරණයට තරග කරන්නේ ඔහු​​ගේ පක්ෂයෙනි. හිටපු යුද හමුදාපතිවරයාට සිය පක්ෂයෙන් නාම යෝජනා දීමට ජනපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා කරුණු පැහැදිලි කළේ මෙසේය.


ඇයි ඔබ ජෙනරාල් මහේෂ් සේනානායකට සහයෝගය දෙන්න තීරණය කළේ?

මේ රටේ තියෙන සදාචාර විරෝධී සමාජ ක්‍රමය වෙනස් කරන්න නම් සියයට සියයක් අවංක පුද්ගලයෙක් රටේ ජනාධිපති වෙන්න ඕන. වංචනිකයෙක්ට බැහැ රට හදන්න. රට ගොඩනගන්න මේ මොහොතේ ඉන්න සුදුසුම පුද්ගලයා මහේෂ් සේනානායකය. ඒකයි ඔහුට සහයෝගය දෙමින් ඔහුව ජනාධිපති කළ යුත්තේ කියල අපි තීරණය කළේ.

දැන් එතකොට ඔබ එක්සත් ජාතික පක්ෂය සමග ඇයි හොඳයියක් නැද්ද?

අවුරුදු එකහමාරකට වැඩි කාලයක් පුරාවට මම එජාපය සමග කිසිම ඇයි හොඳයියක් නෑ.

ඔබ ඇයි එජාපය ඔය තරම් විවේචනය කරන්නේ?

පොහොට්ටුවේ ඉන්න අය වගේම එජාපයේ ඉන්න අයත් අන්ත දූෂිතයි. මම කාලයක් විශ්වාස කළා එජාපය යන්තම්වත් හොඳක් ඇති කියල. කොහෙත්ම නෑ. අන්ත ජරා ජීර්ණ වූ පක්ෂයක් එජාපය කියන්නෙ.

ජෙනරාල් මහේෂ් සේනානායකට ජනාධිපතිවරණයට තරග කරන්න ඔබේ පක්ෂය දුන්නේ මුදලට බව කියවෙනවා.

ඒක අමූලික බොරුවක්. අපි සල්ලි බලාගෙන දේශපාලනය කරන්නේ නැහැ. එජාපයට විරුද්ධ බලවේග හැදෙනවට බයේ ඉන්න එජාපයේ දොස්තර කෙනෙක් කියල හිතන් ඉන්න මිනිහෙක් තමයි ඔය බොරුව ​ගොත ගොත කියන්නේ. ඒ කෙනා ඔය බොරුව කියන හේතුව අපි හෙට අනිද්දම සාක්ෂි ඇතුව ඔප්පු කරල පෙන්වන්නම්.

ජෙනරාල් මහේෂ් සේනානායකගේ මැතිවරණ ව්‍යාපාරයට රාජ්‍ය නොවන සංවිධානවලින් හා විදෙස් මුදල් විශාල ප්‍රමාණයක් හිමි වෙන බවට
චෝදනාවක් තියෙනවා?

පිටරටවලින් ගෝනි ගණන් සල්ලි හම්බෙන පක්ෂවල මිනිස්සු අපිට විරුද්ධව කියන බේගල් මේ. අපි ලෑස්තියි අපේ විගණන වාර්තා එළිදක්වන්න. ඒත් ඒ එක පක්ෂයකටවත් බැහැ ඒක කරන්න.

නාගානන්ද කොඩිතුවක්කු චෝදනාවක් එල්ල කරනවා මහේෂ් සේනානායකට විරුද්ධව ඒ ගැන ඔබ දරන අදහස.

නාගානන්ද කොඩිතුවක්කු තමන්ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයවත් ඉවත් කරගන්නේ නැතුව. පක්ෂයක් නැතුව ජනාධිපතිවරණයයට ඉදිරිපත් වෙන්න ඇවිල්ල දැන් මොනවා කියවනවද මන්දා?ඔහුට මම අනුකම්පා කරනවා වෙන මුකුත් කියන්නෙ නෑ.


(කලණ වීරසිංහ)