අපරික්ෂාකාරී ලෙස වාහනයක් පදවා පොලිස් නිලධාරියෙකුගේ මරණය සිදු කිරීම හා ඒ හා සම්බන්ධ තොරතුරු වසන් කළැයි කියන සිද්ධියකට අදාළව සැකකරුවන් ලෙස හිටපු
පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස් මූලස්ථානයට නියෝගයක් නිකුත් කර තිබේ.

පොලිසිය විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් මෙම නියෝගය පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන අංශය භාර අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව යොමුකර ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කර ඇති පුද්ගලයින් අතර වව්නියාව හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී අමරසිරි කුමාර සේනාරත්න, වව්නියාව හිටපු පොලිස් අධිකාරි හරිශ්චන්ද්‍ර බණ්ඩාර, සෙට්ටිකුලම හිටපු පොලිස් ස්ථානාධිපති රොෂාන් සංජීව යන අය ද ඇතුළත්ව සිටිති.

2011 වසරේ මාර්තු මස 30 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා විසින් පැදවූ ලියාපදිංචි නොකල කාර් රථයක් සෙට්ටිකුලම රෝහල අසල තිබූ ගසක හැපී අනතුරට ලක්වී ඇති අතර එහිදී ඔහුගේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කළ පුෂ්පකුමාර නමැති පොලිස් නිලධාරියකු මරණයට පත් වී තිබේ.

පසුව මෙම වාහනය මියගිය පොලිස් නිලධාරියා විසින් පැදවූ බවට අසත්‍ය කරුණු ඇතුලත් කර අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් සෙට්ටිකුලම පොලිසියේ ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබා දී
ඇති බවද විමර්ශනවලින් හෙළි වී තිබේ.

එමෙන්ම අනතුරට ලක්වූ වාහනය පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා මහතා විසින් නොපැදවූ බවට ප්‍රකාශයක් කරන ලෙස එම සිද්ධිය ඇසින් දුටු පොලිස් කොස්තාපල්වරයෙකුට වව්නියාව හිටපු පොලිස් අධිකාරී හරිශ්චන්ද්‍ර බණ්ඩාර විසින් තර්ජනය කරමින් බලපෑම් සිදුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව ද පොලිසිය විසින් නීතිපතිවරයා වෙත වාර්තා කර තිබේ.

ඒ අනුව අපරික්ෂාකාරී ලෙස රිය පදවා පොලිස් නිලධාරියෙකුගේ මරණය සිදුකිරීම, ඒ පිළිබඳව කරුණු වසන් කිරීම, අසත්‍යය කරුණු ඇතුළත් කර අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා මහතා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධ්‍යක්ෂවරයා වෙත යොමු කළ ලිඛිත නියෝගයේ සඳහන් කර ඇත.