6pm
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය විමසීම අවසන් වනවිට ප්‍රකාශ කර තිබු ඡන්ද සංඛ්‍යාව සියයට 79ක් බව ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යු චන්ද්‍රලාල් මහතා සඳහන් කළේය.
තැපැල් ඡන්දද ඇතුලත්ව මෙම සංඛ්‍යාව ගණන් බැලු බවත් තැපැල් ඡන්ද ප්‍රකාශ කළ සංඛ්‍යාව 1192ක් බවත් ඔහු සඳහන් කළේය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
--------
 4pm
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසිම අද සවස 4 ට සාර්ථකව අවසන් විය. පෙරවරුව වන විට ඡන්ද දායකයින්ගෙන් සියයට තිහකට අධික පිරිසක් ඡන්දය භාවිත කර තිබූ අතර
සවස 3 පසුවන විට ඡන්දය ප්‍රකාශ කිරීම මේ වන විට 50% කට අසන්න අගයක් ගත්තා.
ඡන්දය අවසන් වන අවස්ථාව වන විට සියයට 50-60 අතර ප්‍රතිශතයක් ඡන්ද පළ කිරීමේ අගය  පළව ඇත.

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේ දී නාම යෝජනා සම්බන්ධයෙන් පැවැති ගැටලුවක් නිසා ඇල්පිටිය ප්‍රාදේශීය සභා  ඡන්ද විමසීම එම අවස්ථාවේ

පැවැත්වීමට හැකිවූයේ නැත. මේ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ දී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුවකට අනුව මේ අයුරින් මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලදි. ඒ අනුව අද (11) උදෑසන ආරම්භ වූ  ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම මධ්‍යස්ථාන 47 කදී ලියාපදිංචි ඡන්ද දායකයින් පනස් තුන්දහස් තුන්සිය අසූහතරක් සමග පැවැත්විණි.

ඡන්ද විමසීම වෙනුවෙන්  ප්‍රදේශයට උපරිම ආරක්ෂාවක් සපයා තිබුණ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ යූ චන්ද්‍රලාල් මහතා පවසා ඇත.

පස්වරු 4.00ට ඡන්ද විමසීම අවසන් කිරීමෙන් පසු අදාළ මධ්‍යස්ථාන තුළදීම ගණන් කිරීමේ කටයුතු ද සිදු කෙරෙනු ඇති. රාත්‍රී 10.00 ට පෙර සමස්ත ඡන්ද ප්‍රතිඵලය ලබා දීමට හැකිවනු ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පවසන්නේ.

ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සදහා මැතිවරණ නිරීක්ෂකයන් මෙන්ම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද එහි ගොස් ඇත.. ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොරව සාමකාමීව ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරෙන බවයි ඒ මහතා සදහන් කළේය.