පෙම් යුවළක් බියගන්වා රුපියල් 30,000 ක පමණ මුදලක් කප්පම් වශයෙන් ලබාගත් බව කියන පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුගෙන් එක් පොලිස් කොස්තාපල්වරයෙක් බොරලැස්ගමුව පොලිසිය විසින් 5 දා
සැකපිට අත්අඩංගුවට ගනු ලැබිය. කප්පම් මුදල් ගැනීමේ සිද්ධියට සම්බන්ධ බව කියන අනෙක් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අත්ඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

සැකකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ආගිය අතක් සොයා ගැනීමට නොමැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඊයේ පැවසීය. අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කෝස්තාපල් සහ අත්අඩංගුවට ගැනීමට
සොයන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක රාජකාරි කරන අය වෙති.

මාතර ප්‍රදේශයේ පදිංචි තරුණයකු කොළඹ ප්‍රදේශයේ තරුණියක හා ප්‍රේම සම්ඛන්ධයක් පවත්වාගෙන යන අතර ඇය මැදපෙරදිග රටකට රැකියාවකට යන නිසා ඊට පෙර ඇය මුණගැසීමට මුකුත් 2 වැනිදා වේරහැර ප්‍රදේශයට පැමිණ ඇතැයි පොලිසිය කියයි. පෙම්වතුන් යුවළ කතා බස් කරමින් සිටින අතරවාරයේ පොලිස් නිල ඇඳුමින් පැමිණි තිදෙනක් ඔවුන් අශෝභන ලෙස හැසිරුණු බව පවසා ඇතැයි කියති.

මෙම චෝදනාව යටත් අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට නම්  රුපියල් ලක්ෂයක මුදලක් අවශ්‍ය බව ඔවුන් තිදෙනා පවසා ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.  එතරම් මුදලක් නොමැති බව තරුණයා පවසා ඇති අතර පසුව එම මුදල රුපියල් 30,000 දක්වා අඩුකර ඇති බව පැවසේ.

බොරලැස්ගමුව ප්‍රදේශයේ බැංකුවකට ගොස් තරුණයාගේ බැංකු ගිණුමෙන් බැංකු කාඩ්පත උපයෝගී කරගෙන එම මුදල ලබාගෙන පොලිස් කොස්තාපල්වරුන් තිදෙනාට ලබාදී ඇතැයිද පොලිසිය කිය.කප්පම් මුදල් ඉල්ලන ආකාරය තරුණිය ඇයගේ ජංගම දුරකථනයෙන් පටිගත කරගෙන එක් පොලිස් කොස්තාපල්වරයකුගේ නිල අංකයද සටහන් කර ගෙන ඇති බවද පොලිසිය කියයි.

පොලිස් 119 හදිසි ඇමතුම් අංකයට මේ බව දැනුම්දිමෙන් පසු බොරලැස්ගමුව පොලිසිය පරීක්ෂණ පවත්වා එක් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවටගෙන ඔහුගේ වැඩද තහනම් කර ඇත.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-