2020 වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් මස 30 වන දා ක්වා රජයේ වියදම් සඳහා රුපියල් බිලියන 1474 ක අතුරු සම්මත ගිණුමක් ලබන අද(23) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙයට අමතරව එම කාලය තුළ ණය ගැනීමේ සීමාව ලෙස රුපියල් බිලියන 721ක් අනුමැතිය සඳහා අතුරු සම්මත ගිණුම ඔස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අද පෙරවරු 10.30 සිට සවස 06.30 දක්වා පාර්ලිමේන්තුව රුස්වීමටත්, හෙට (24)පාර්ලිමේන්තුව රැස් නොවීමටත් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේදී අතුරු සම්මත ගිණුමට අමතරව පනත් කෙටුම්පත් 03 ක් දෙවන වර කියවා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමටද තීරණය වී තිබේ.

එමෙන්ම මුදල් පනත යටතේ නියමය,වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය,නිශ්පාදන බදු පනත යටතේ නියමය, විශේෂ වෙළද භාන්ඩ බදු පනත යතතේ නියමයන් 06 ක්, රේගු ආඥා පනත යටතේ යෝජනාවක්, සුරා බදු ආඥා පනත යටතේ රීති ,මුදල් පනත යතතේ නියෝග 03 ක් හා,මුදල් ව්‍යාපාර පනත යතතේ නියෝග ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙරාතුව අද පෙරවරුවේ මහජන මුදල් පිළිබඳ කාරක සභාව රැස් වී, ඒ පීළිබද සාකච්ජා කිරීමට කටයුතු කරන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා කාරක සභාවේ සාමාජිකයන්ට දැන්වීය.

අතුරු සම්මත ගිණුම පිළිබද විවාදයට වැඩි ඉඩ කඩක් ලබාදීම සඳහා අදට නියමිත වාචික ප්‍රශ්න සඳහා වෙනත් දිනයක ලබා දීමටද කාරක සභා සාමාජිකයෝ තවදුරටත් තිරණය කර තිබේ.