තමා සියලුම රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
කඩුවෙල පැවති ජනරැළියකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් ඊයේ පස්වරුවේ කඩුවෙල දි පැවැත් වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

“අපේ ජයග‍්‍රහණයෙන් පසුව විනයගරුක කි‍්‍රයාශිලි ඵලදායි ආන්ඩුවක් අපි ඇති කරනවා. විනිවිද භාවයක් සහිත කි‍්‍රයාශිලී රජයක් ඔබ බලාපොරොත්තු වෙනවා වගේම අපි ඒ රජය ලබා දෙනවා.

අපේ ජයෙන් පසුව රාජ්‍ය ආයතන වලට පත්කරන්නේ වැඩ කළ හැකි අයයි. ඒ අයට අපි නිසි ඉලක්ක ලබාදි ඔවුන්ගේ ප‍්‍රමිතිය බලනවා.

රාජ්‍ය ආයතන ලාබ ලබන ආයතන බවට පත්කල යුතුයි. ඒ ආයතන විදේශීකයින්ට විකුණන්න බැහැ. එදා නාගරික සංවර්ධන අධිකාරිය, පහත්බිම් සංවර්ධන අධිකාරිය රටට විශෘල සේවයක් කරන ආයතන බවට අපි පත්කළා. මේ ආයතන භාණ්ඩාගාරයට බරක් නොවන ලාභ ලබන ආයතන බවට පත්කරනවා.

රට ඉදිරියට යන්නට නම් ආයෝජකයින්ට විශ්වාසයක් ඇති වෙන්න නම් රාජ්‍ය ආරක්ෂාව තහවුරු වෙන්න අවශ්‍යයි. අපි ත‍්‍රස්තවාදය අවසන් කළා වගේම නැවතත් මේ රටේ ත‍්‍රස්තවාදය හිස ඔසවන්නේ නැති වෙන්න ආරක්ෂක සැලැස්මක් යෙදුවා.

ති‍්‍රවිද හමුදා පොලීසිය යොදවලා අපි සුරක්ෂිත රටක් ඇති කළා. විදේශීය බලවේගවලට යට නොවුනු නව ලිබරල්වාදී ආදහස් දරන රාජ්‍ය නොවන ආයතනවලට ගැතිකම් කරන ආන්ඩුවකින් රාජ්‍ය ආරක්ෂාව තහවුරු වෙන්නේ නැහැ.

අපේකමට ගරු කරන අපේකමට ආදරය කරන අයට විතරයි එය කළ හැක්කේ. අපි අභියෝග ජය ගත්ත කොටසක්.“