යාපනය කාණ්ඩාවිල්වරණි ප්‍රදේශයේ පාළු ඉඩමක වළ දමා තිබු කිලෝ 15 අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (14) සොයා ගන්නා ලදැයි පහලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙම බෝම්බ සොයා ගනු ලැබුවේ කිලිනොච්චියේ සිය නිවෙසේ අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගනු ලැබ සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු වන ජෝසප් පීටර්  රොබින්සන් නමැත්තාගෙන් ප්‍රශ්න කිරිමේදී හෙළි කරගත් තොරතුරු අනුව යැයි ද
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් සොයාගත් ක්ලේමෝ බෝම්බ දෙක ඉටි ආවරණවල  ඔතා ඉතා සුරක්ෂිතව වළ දමා තිබූ බව ද ඔහු පැවැසීය. කිලිනොච්චියේ නිවසේ සගවා තිබූ ගිනි අවි, බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබූ හිටපු කොටි සාමාජිකයාත්, ඔහුගේ බිරිය සහ සොහොයුරියන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා සිටින අතර ඔවුන්ගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යනු ලැබේ.

මෙම හිටපු කොටි සාමාජිකයා ඉකුත් 11  වැනිදා ටී 56 ගිනි අවියක් සමග සේරුනුවර ප්‍රදේශයේදී යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට බාරදීමෙන් පසුව සිදු කෙරුණු ප්‍රශ්න කිරිමේදී කිලිනොච්චි අම්බාල්කුලම් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙසේ තැන තැන සගවා තිබූ අත්බෝම්බ, ගිනි අවි, ඩෙටනේටර්, ජීව උණ්ඩ ඇතුළු විශාල අවි තොගයක් කිලිනොච්චිය පොලිසිය විසින් සොයා ගනු ලැබිය.