විදේශීය මත්පැන් සිල්ලරට මිලදී ගැනීම,  ප්‍රවාහනය හා ළග තබා ගත හැකි උපරිම සීමාව ලීටර් 50 දක්වා ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. දැනට පවතින නීතිය අනුව විදේශ මත්පැන් ළඟ තබා ගත
හැකි උපරිම සීමාව ලිටර් 7.5ක් හෙවත් බෝතල් 10කි.

නව නීතිය අනුව විදේශීය මත්පැන් ලීටර් 80ක් දල වශයෙන් බෝතල් 100ක් පමණ ළඟ තබා ගත හැකි වනු ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.  විදේශීය මත්පැන් ළඟ තබා ගත හැකි උපරිම සීමාව මෙසේ ඉහළ දමා ඇත්තේ මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉකුත් 27 දා 
නිකුත් කරනු ලැබ ඇති සුරාබදු නිවේදනයක් මගිනි.

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි මෙම සංශෝධනය කර ඇති බවත්, සුරාබදු ආඥා පනත අනුව ආනයනය කරන හෝ දේශීය වශයෙන් නිපදවන සියලුම මත්පැන් වර්ග විදේශීය මත්පැන් ලෙස සැලකෙන බවත්, සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරිම) කපිල කුමාරසිංහ මහතා පැවැසීය.ලිටර් 7.5 උපරිම සීමාව හදුන්වා දී තිබුණේ 2015 වර්ෂයේ දීය.

විදේශයන් අසීමිතව මත්පැන් මෙරටට පැමිණීම වැළැක්වීමේ පියවරක් ලෙස එම සීමාව මෙලෙස හඳුන්වා දී තිබිණ. විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්, නිවෙස්වල කුඩා මත්පැන් කුටි (මිනි බාර්) පවත්වාගෙන යන පුද්ගලයන්, විනෝදාංශයක් වශයෙන් විදේශීය මත්පැන් එකතු කරන පුද්ගලයන්, මංගල උත්සව වැනි විවිධ උත්සව සඳහා මත්පැන් එකතු කරන පුද්ගලයන් කාලයක සිට කර ඇති ඉල්ලිම සැලකිල්ලට ගත මුදල් ඇමැතිවරයා මෙම පියවර ගෙන ඇත.


-සුජිත් හෝවාජුලියගේ-