රන් බඩු හා දරු දෙදෙනා විවාහක සැමියාට භාර දී දරුවන් හඬද්දී බිරිඳ අනියම් සැමියා සමග යාමේ සිද්ධියක් කුරුවිට පොලිසියෙන් දැනගන්නට තිබේ. සැමියා පෙදරේරුවෙකි. යෝජනාවක් මත විවාහ වූ මොවුන්ට අවුරුදු දහයක හා අටක දියණියන් දෙදෙනෙකි. කිසිදු අඩුපාඩුවක් නොතබා බිරිඳගේ හා දරු දෙදෙනාගේ
සියලුම ඕනෑ එපාකම් ඔහු ඉටුකළේය. මෙසේ සතුටින් කල් ගෙවන අතරේ දරුවන්ගේ අමතර පන්ති කටයුතු සඳහා ඇයට කුරුවිට නගරයට නිතරම යාමට ඒමට සිදුවිය. කල් ගෙවෙද්දී නගරයේදි හමු වූ තරුණයකු සමග ඇය අනියම් සබඳතාවක් ගොඩනගා ගත්තාය. ඉතාම කෙටි කලකින් මේ සිද්ධිය සැමියාගේ කනට ද ගියේය.
ඔහු බිරිඳගෙන් මේ ගැන විමසුවද ඇය කීවේ කවුරුන් හෝ ඔහුට බොරුවක් කියා ඇති බවකි. සැමියා ද එය ගණනකට ගත්තේ නැත. එහෙත් නැවත නැවත මේ ගැන වටින් ගොඩින් ආරංචි ලැබීමත් සමග සැමියා මෙහි ඇත්ත නැත්ත සෙව්වේය.එය ඇත්තක් වග ඔහුට පසක් විය. ඉන් පසුව නිවසේ වරින්වර ඇති වූ රණ්ඩු සරුවල් අවසානයේ පොලිස් පොතේද ලියැවිණි. ඒ හැම පැමිණිල්ලක්ම විභාගකර දෙදෙනා සමාදාන කිරීමට පොලිසිය කටයුතු කළේය.

නැවත ටික දිනකින් බිරිඳ පොලිසියට පැමිණල්ලක් කර තිබුණේ තවදුරටත් සැමියා සමග සිටීමට නොහැකි බවත් තමන් අනියම් සැමියා සමග යන බවත් සඳහන් කරමිනි. නැවත දෙදෙනාම පොලිසියට කැඳවිණි. අනියම් පුරුෂයාද පොලිසියට පැමිණ සිටියේය.එම අවස්ථාවේදීද දෙදෙනා සමථයකට පත්කිරීමට නිලධාරින් ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.බිරිඳ එකහෙලාම කියා සිටියේ තමා අනියම් පුරුෂයා සමග ජීවත් වීටම කැමති බවය. ‘එයාට යන්නම ඕනෑ නම් ගියාවෙ. හැබැයි එයා දාගෙන ඉන්නෙ මම අරන් දීපු රත්තරන් බඩු. ඒ ටික මට ඕනෑයි” සැමියා කියද්දීම ඇය සියලුම රන් බඩු ගලවා සැමියාට දුන්නාය. ඇය අනියම් පුරුෂයා සමග පොලිසියෙන් පිට වූයේ දරු දෙදෙනා හඬද්දිය.

ශ්‍රියන්ති බණ්ඩාර - එරත්න