එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට නොලැබුණහොත් අලුත් පක්ෂයකින් ජනාධිපති අපේක්ෂක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන බව වගකීමෙන් කියන බව
මාතලේ නගරාධිපති ඩබ්ලිව්. අලුවිහාරේ මහතා ඊයේ (03) සවස මාධ්‍ය හමුවක් අමතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන බව සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිටත් ප්‍රකාශ කර ඇති බව පැවැසූ පුරපති ඩල්ජිත් අලුවිහාරේ මහතා එජාප නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,
සජිත් ප්‍රේමදායි මහතාට ඒ අවස්ථාවේ ලබාදීම සුදුසුම අවස්ථාවක සිදුවන බවද කීවේය.

මාතලේ මහ නගර සභාවේ නගරාධිපති නිල කාමරයේදී මෙම මාධ්‍ය හමුවේ පැවැත්වුයේ නගරාධිපති ඩිල්ජිත් අලුවිහාරේ මහතා විදේශගතව සිටියදී නියෝජ්‍ය පුරපති සන්දනම් ප්‍රකාශ් මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් විසින් විශේෂ මහා සභාවක් පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම පිණිසය.

විශේෂ මහා සභා රැස්වීමේදී කරුණු හයක් සම්බන්ධව ගනු ලැබූ තීන්දු තීරණ සියල්ලම තමා අවලංගු කළ බවත් මේ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාට ලිඛිතව දැනුම්දුන් බවත් පුරපතිවරයා පැවැසීය.

සජීත් දිනවන ඊළග එජාප රැස්වීම් මාතලේ නගරයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව පැවැසූ ඩල්ජිත් අලුවිහාරේ මහතා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ධුරයට පත්කිරීමේ අරමුණින් මාතලේ දේශපාලන අධිකාරියේ රැස්වීමක් පෙරේදා (02) පැවැත්වූ බවත් එම රැස්වීමට රංජිත් අලුවිහාරේ, වසන්ත අලුවිහාරේ යන රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනා ද මන්ත්‍රිනී රෝහිණි විජේරත්න මහත්මිය, ප්‍රියාන් විජේරත්න දඹුල්ල සංවිධායකවරයා, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්. පළාත් පාලන ආයතන නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි වූ බවද පැවැසීය.


 - මාතල් .ඇම්.ඩබ්. සෝමරත්න සහ
   මාතලේ විශේෂ මහේෂ් කිර්තිරන්න