ජනාධිපතිවරණයට දින ආසන්න වීමත් සමග විදේශගතව සිටින පාතාල නායකයන් හා ඔවුන්ගේ සාමාජිකයන් යළි දිවයිනට පැමිණ අපේක්ෂකයන්ට ළංවීමට පටන්ගෙන ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වේ.

පසුගිය සතිය වන විට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් තිදෙනකු මේ ආකාරයට දිවයිනට පැමිණ ඇත.

ඒ අතර බ්ලූමැන්ඩල් සංඛ, ඌරගහ මයිකල් සහ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි තවත් පාතාල නායකයන් මෙරටට පැමිණ තිබේ. ඔවුන් මෙසේ පසුගිය කාලසීමාවේ වෙනත් පාතාල කණ්ඩායම්වලින් හා ආරක්ෂක අංශවලින් බේරීම සඳහා විදේශගතව සිටියේය. ඔවුන් විදේශ
රටවලට පැනගත් ආකාරයට බෝට්ටුවෙන්ම මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ. බ්ලූමැන්ඩල් සංඛ ප්‍රබල ඇමැතිවරයකුගේ දැනුම් දීමක් මත පැමිණ තිබේ.

මීට අමතරව දැනට බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ චමින්දගේ ගෝලයන් ද ජනාධිපති අපේක්ෂකයන්ගේ අනුගාමිකයන් සමග සම්බන්ධ වී ප්‍රධාන නායකයන්ට සමීප වීමට කටයුතු යොදමින් සිටින බවට බුද්ධි අංශ වෙත වාර්තා වී ඇත. මීට අමතරව දූනගහ ප්‍රදේශයේ නම ගිය පාතාල නායකයකුද මේ ආකාරයට මැතිවරණ කටයුතුවලට සහාය ලබා දීමට සූදානම් බවට ප්‍රදේශයේ දේශපාලනඥයන්ට පවසා ඇති බව වාර්තා වේ.

චමින්ද සේනාරත්න