මහින්ද රාජපක්ෂ මහතා විසින් නවතා දැමු මන්ත්‍රීවරුන්ට සහ අනෙකුත් පුද්ගලයන්ට මත්පැන් නිෂ්පාදන බලපත් ලබාදීමේ ක්‍රමය මංගල සමරවීර මහතා විසින් යළිත් ආරම්භ කර ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.  එම බලපත්‍ර ලබා දෙන්නේ සජිත් ප්‍රේමදාස
ජනාධිපති අපේක්ෂකවරයාට සහාය දක්වන මන්ත්‍රිවරුන්ට පමණක් යැයි ද මන්ත්‍රිවරයා කිය.

සංස්කෘතිය ගැන කථා කරන සසුනට අරුණ වැඩසටහන කරන සජිත් ප්‍රේමදාස මහතා මංගල සමරවීර මහතාගේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙළට එකඟද නැද්ද කියා වහා ජනතාව ඉදිරියේ හෙළිකර සිටිය යුතු
යැයිද හෙතෙම සඳහන් කළේය. මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබාදීම ආණ්ඩුවේ ඡන්ද අණ්ඩුවකැයිද ගමන්පිල මහතා කීය.

මත්පැන් බලපත්‍ර මන්ත්‍රීවරුන්ට ලබාදීම ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ආරම්භ කළ බව කී ගමන්පිල මහතා ඉන්පසු සියලු ජනාධිපතිවරුන් විසින් එය ඉදිරියට ගෙන ආ නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් එය නවතා දැමූ බවත් කියා සිටියේය.

ජනතාව මත්කර තබන්නේ නැතිව කිසිවක් සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය නොදෙන බව දන්නා නිසා මෙසේ මත්කර තබන්නට පියවර ගන්නවා විය හැකි යැයි ද මේ පවතින රැල්ල අරක්කු රැල්ලක් මිස සැබෑ රැල්ලක් නොවන බවද ඔහු සඳහන් කළේය. උදය ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ  පිටකෝට්ටේ පිහිටි හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ  ඉකුත්දා (09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

-වීනිතා එම්.ගමගේ-