සාපරාධී ක්‍රියාවන් රාශියකට සම්බන්ධ ජාත්‍යන්තර පොලීසියේ රතු දත්ත ලේඛනයේ නම සදහන් කසකස්තාන ජාතිකයකු ඊයේ (10දා) උදෑසන ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී , ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.
මෙසේ පිටුවහල් කර ඇත්තේ බොටබායෙව් නුර්සාන් (40) කසකස්තාන ජාතිකයෙකි.මොහු වසර 15ක පමණ කාලයක සිට කසකස්තාන රාජ්‍යය වෙත ගොස් නොමැති අතර , කසකස්තාන රජය මොහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති බැවින් ඩුබායිහි සිය බිරිද සමග රැදී සිට ඇති බවත්,
ඊයේ (10) උදෑසන 8.30ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් ගිය ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරිහු පවසති.

එසේ පැමිණි ඔහු, කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ආගමන කවුළුව වෙත පැමීණ, මෙරටට ඇතුළු වීමට වීසා අවසර ලබාගැනීම සදහා සිය ගමන් බලාපත්‍රය, එහි රාජකාරීයේ නියැළී සිටි ආගමන විගමන නිලධාරිවරයා වෙත භාරදී ඇති අතර, එහිදී එම ගමන් බලපත්‍රය ආගමන විගමන ප්‍රත්‍යන්ත පාලන තොරතුරු පද්ධතියට ඇතුළත් කළ විට, මොහු මෙරටට ඇතුළත් කර ගැනීමට නුසුදුසු අනතුරුදායක පුද්ගලයකු
ලෙස එහි සටහන්ව තිබේ.

අනතුරුව වැඩිදුර පරික්ෂණ සඳහා මෙම පුද්ගලයා සහ ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය කටුනායක ගුවන් තොටුපොළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ මෙම බලපත්‍ර අංකය සහ නම් ජාත්‍යන්තර පොලීසියට (Interpol ) අයත් රතු දත්ත පද්ධතියෙහිද ඇතුළත්ව ඇති, කසකස්තානයේ සාපරාධී ක්‍රියාවන් රාශියකට සම්බන්ධ පුද්ගලයෙකුගේ බවයි.

මෙහිදී වැඩිදුර ප්‍රශ්න කරන විට සැකකරු පවසා ඇත්තේ , තමන් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි බවයි. මෙහිදී ආගමණික සහ විගමනික පනතෙහි විධිවිධානවලට අනුව මොහු නැවත, ඔහු පැමිණි රටටම ආපසු පිටුවහල් කර යැවීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන ගමන නිලධාරීන් ක්‍රියා කර තිබුණි.

-ටි.කේ.ජි.කපිල-