තංගල්ලේ නිවෙසක් තුළදී බරපතළ කැපුම් තුවාල සහිතව කාන්තාවක සහ එම නිවසේම කාමරයක එල්ලෙමින් තිබූ පිරිමි සිරුරක් ඊයේ (19දා) සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි..

මෙසේ මියගොස් ඇත්තේ තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පනස්හය හැවිරිදි අයෙකි. ඔහු විශ්‍රාමික හමුදා නිලධාරියකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.

බරපතළ තුචාල ලැබ ඇති බව කියන කාන්තාව ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය
දෙදරු මවක බව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා සහ තුවාල ලැබූ කාන්තාව සැමියා සහ බිරිය බවට පොලීසිය සැකකරයි. දරු දෙදෙනා නිවෙසෙහි නොමැති අවස්ථාවකදී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි.

ඊයේ (19දා) පෙරවරු 10.15ට පමණ සිද්ධිය වී ඇති අතර නිවසේ මුළුතැන්ගෙය තුළ රුධිර පැල්ලම් රාශියක් තිබූ අතර එතැන් සිට නිවෙසේ ප්‍රධාන ගේට්ස්ටුව දක්වා රුධිර පැල්ලම් ඇති ආකාරය දක්නට හැකි වීය. රුධිරය තැවරුණු පිහියක් නිවස පිහිටි ඉඩමේ පොල් ගසක් මුල වැටී තිබිණි. තංගල්ල කොට්ඨාස ස්ථානීය අපරාධ පරික්‍ෂණගාරයේ නිලධාරීහු ස්ථානීය පරික්‍ෂණය සිදුකළහ.

තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී වයි. එල්. ලීලවංශ මහතාගේ උපදෙස් පරිදි තංගල්ල මුලස්ථාන ප්‍රධාන පොලිස් පර්ක්ෂක ලාල් චන්ද්‍රසිරී, පොලිස් පරික්‍ෂක පී.එම්.කේ. චන්ද්‍රසේන, පොලිස් සැරයන් වන නිමල් (16549), තුෂාර (43939), විජේතුංග (39328) ලලිත් (31952), අනුර (46034).පොලිස් කොස්තාපල්වරුන් වන ඉද්දමල්ගොඩ (92695), සම්පත් (73055), සරත්කුමාර (7698), වැටකේදෙණිය (40988) සහ ශිවකුමාර (92701), යන නිලධාරීහු පක්‍ෂණ සිදුකරති.

තංගල්ල - සහම්පති මානගේ