දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලම් හා බෝක්කු ඉදි කිරීමට රැගෙන ඒමෙන් පසු ඉතිරි වූ කොන්ක්‍රීට් මත්තල ප්‍රදේශයේ කැලෑවකට දැමීමෙන් එම ප්‍රදේශයේ මහා පරිමාණ පරිසර හානියක් සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. එම මාර්ගයේ අන්දරවැව සිට මත්තල දක්වා වූ මාර්ග කොටසෙහි ඉදිකිරීම් සිදුකරන විදේශීය
සමාගමේ පිරිස් විසින් එම යන්ත්‍රවල ඉතිරිවන කොන්ක්‍රීට් මෙ‍ලෙස හොර රහසේ වනාන්තරවලට බැහැර කරන බවද ඔවුහු පෙන්වා දෙති.

කිසිදු ක්‍රමවේදයකින් තොරව සිදු කරන මෙම ක්‍රියාව හේතුවෙන් එම ප්‍රදේශය පුරා දැඩි පාරීසක හානියක් සිදුව ඇති අතර මේ හේතුවෙන් එහි වෙසෙන වන සතුන්ටද
දැඩි බලපෑම් සිදුව තිබේ.මේ සම්බන්ධයෙන් එම මාර්ග කොටසෙහි ඉදිකිරීම් සිදුකරන අදාළ ‍කොන්ත්‍රාත් සමාගමේ ප්‍රධාන නිලධාරීවරයාගෙන් කළ විමසීමේදී හෙතෙම ඒ සඳහා පිළිතුරු ලබාදී‍මෙන් වැළකී සිටියේය.

උද්ගතව ඇති මෙම තත්වය මත ඉදිරියේදී තමන්ට ගැටලු රැසකට මුහුණදීමට සිදුවිය හැකි
නිසා වගකිවයුතු පාර්ශ්ව වහා මේ  සම්බන්ධයෙන් සොයා බලා විශාල පරිසර හානියක් සිදු කරමින් මහ කැලයට මුදාහැර ඇති කොන්ත්‍රීට් තට්ටු ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවල පදිංචිකරුවෝ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.