මල්වානේ වඩුවේගම ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන යනු ලැබූ ගණිකා නිවාසයක්‌ වටලා එහි සිටි කාන්තාවන් හතර දෙනකු සමග කළමනාකරුවකු පෑලියගොඩ දිසා දූෂණ මර්දන අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
 බස්‌නාහිර පළාත-උතුර නියෝජ්‍ය පොලිස්‌පති මහේෂ් වැලිකන්න මහතාගේ "කෙළින්ම කියන්න" ව්‍යාපෘතිය යටතේ ලද තොරතුරක්‌ මත පොලිසිය විසින් මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ මත පොලිස්‌ උපාය දූතයකු යොදවා එම වැටලීම සිදුකර තිබිණි.

 එම කාන්තාවන්ගෙන් පහස ලබා ගැනීමට පැමිණෙන පිරිමින් රුපියල් 1200 ක්‌ ගෙවා සම්බාහන මධ්‍යස්‌ථානයට ඇතුළත් විය යුතු අතර ඉන්පසුව එම පිරිමින් විසින් තමන්ගේ කැමත්ත මත තෝරා ගන්නා කාන්තාවන්ට ඔවුන් ඉල්ලන මුදල ගෙවිය යුතුය.

 මේ අනුව එක්‌ කාන්තාවක්‌ දිනකට රුපියල් දසදහසකට වැඩි මුදලක්‌ උපයන බවද කියෑවේ.

 එම කාන්තාවන් හතර දෙනා පොල්පිතිගම, ඇඹිලිපිටිය, කුලියාපිටිය හා රත්නපුරය යන ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර ඔවුන්ගේ වයස අවුරුදු 20 ත් 30 ත් අතර වේ.

 එහි කළමනාකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

 මොවුන් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා බියගම පොලිසියට භාරදුන් අතර ඔවුන් මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ජගත් අබේසිරිවර්ධන, බස්‌නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්‌පති මහේෂ් වැලිකන්න, පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂක සහකාර පොලිස්‌ අධිකාරි මහේෂ් බණ්‌ඩාර හා පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජයන්ත දහනායක යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ පෑලියගොඩ දිසා දූෂණ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රසාද් රත්නායක, සැරයන් චමිල (7470), පො.කො. කුමාර (72496), වීරවංශ (85009) හා කාන්තා පො.කො. ගමගේ (4788) යන නිලධාරීහු මේ වැටලීම සිදුකරනු ලැබූහ.

 දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩී. විතාන