ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථ දායක සභාවේ  සභාපති ධුරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් එම දායක සභාවේ වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

කැලණිය රජමහා විහාරස්ථ දායක සභාව ඊයේ (01දා) විහාරස්ථානයේ ඇසළ පෙරහර කටයුතු සංවිධානය කිරිමේ කාර්යය වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති කොල්ලුපිටියේ සංඝරක්ඛිත නාහිමියන්ගේ මූලිකත්වයෙන් රැස් වූ අතර, එහිදී දායක සභාවේ සභාපති ධුරයෙන් රනිල් වික‍්‍රමස්සිංහ මහතා
ඉවත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

දායක සභා රැස්වීමට සහභාගි වී සිටී 200කට ආසන්න සාමාජිකයන් අතුරින් අදාළ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් සිදුකර ඇති අතර, ඒහිදී යෝජනාවට එරෙහිව ලැබී ඇත්තේ ද 07ක් පමණි. සෙසු සියලු දෙනාම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

මේ අතර, තමන් ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(O1දා) රාත්‍රියේ ප්‍රකාශ කළේය.

කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට එම දායක සභාව කටයුතු කර ඇති බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනගැනීමට ලැබී තිබුණේ ඔහු ඊයේ සවස තම පවුලේ ඥාතියකුගේ විවාහ උත්සවයකට සහභාගී වී සිටි අතරතුරය.

මේ පිළිබඳ අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි කැලණිය රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපතිත්වයෙන් ඉල්ලා අස්වීමට තමන් ක්‍රියා කරන බවයි. එසේ වුවද, කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් සමිබන්ධයෙන් දායක සභාවේ සාමාජිකයන් විසින් එල්ල කර ඇති චෝදනා පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට දායක සභාව කටයුතු කළ යුතු බවද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා වසර විසිපහකට ආසන්න කාලයක් කැලණිය රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති තනතුර හොබවමින් විහාරස්ථානය සමග ඉතා සමීපව කටයුතු කළ අයෙකු වීමද විශේෂත්වයකි.