ලබන සැප්තැම්බර් 14 වැනිදා මැන්චෙස්ටර්හිදීත් සැප්තැම්බර් 2 වැනිදා ලන්ඩන්හිදීන් ආරම්භ වන අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි හා 5 වැනි ටෙස්ට් තරග සඳහා විනිසුරුවන් ලෙස කටයුතු කරන්නට ශ්‍රී ලංකා විනිසුරුවන් දෙපළක් වන කුමාර ධර්මලසේන හා රුචිර පල්ලියගුරුගේ නම්කර  ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) පසුගියදා නිවේදනය කළේය.

ඒ අනුව කුමාර ධර්මසේන
හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් විනිසුරු මරායස් ඉරෙස්මස් එම තරග දෙකේදී පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කරන අතර පල්ලියගුරුගේ රූපවාහිනී විනිසුරු ලෙස කටයුතු කරයි. මේ වන විට තරග 3ක් නිමාවට පත්වී ඇති මෙම තරගාවලියේ එංගලන්තය  හා ඕස්ට්‍රේලියාව තරග 1-1ක් ලෙස සම තත්වයක පසුවන අතර, එම තරග ත්‍රිත්වයේදීම ඉතා දුර්වල විනිසුරු තීරණ දක්නට ලැබිණි. පළමු තරගයේදී පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කළ කොදෙව් ජාතික ජොයෙල් විල්සන් හා පාකිස්තාන ජාතික ඇලීම් ඩාර් වැරදි තීරණ 15ක් ලබාදීම මතභේදාත්මක කරුණක් බවට පත්ව තිබූ අතර නවසීලන්ත ජාතික ක්‍රිස් ගැෆනි ද දෙවැනි හා තෙවැනී තරගවලදී පිටියේ විනිසුරුවකු ලෙස කටයුතු කළේය.

තවද එක් කඩුල්ලක ඉතා තියුණු ජයක් එංගලග්නයට හිමි වූ තෙවැනි ටෙස්ට් තරගයේ අවසන් මොහොතේදී ඕස්ට්‍රේලියාවට ලබා ගැනීමට තිබූ අවස්ථාව (කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගැනීමේ ඉල්ලීමක්) ජෝයෙල් විල්සන් විසින් නිෂ්ප්‍රභ කිරීමත් සමඟ ඕස්ට්‍රෙලියානුවන්ට ඉතා අවාසනාවන්ත වෙස්ට් පරාජයක් හිමිවීම අයි.සී.සී. විනිසුරු මඩුල්ලට කළු පැල්ලමක් එක් කරන්නට හේතු පාදක විය.