අයිඑස් ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා කලාපය ගන්නා ඕනෑම ක්‍රියා මාර්ගයකට සහාය ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් බව අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මාලදිවයින්  සංචාරයේ දෙවන දිනය ආරම්භ කරමින් එරට පාර්ලිමේන්තුව ඇමතූ අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

තෙදින නිල සංචාරයක් සඳහා මාලදිවයිනට  ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස දෙරටට බලපාන කලාපීය සහ ගෝලීය කටයුතු පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තා. රාජ්‍ය නායකයන් අතර සාකච්ඡාවෙන් අනතුරුව ගිවිසුම් 04 කට අත්සන් තැබුණා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර වීසා නිකුත් කිරීම පහසු
කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තැබුවා. එම ගිවිසුම තුළින් මීට පෙර පැවති ගුවන්තොටුපොළේදී වීසා ලබා ගැනීමේ පහසුකම තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන අතර දින 90 ක වීසා පහසුකම නොමිලේ ලබා ගැනීමට දෙරටේ පුරවැසියන්ට අවස්ථාව ලැබෙනු ඇති. සමාජ ආරක්ෂාව පිළිබද ක්ෂේත්‍රයේ දෙරට අතර සහයෝගීතාව ඇති කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබුණා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම තුළින් දෙරටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් වනවා. වෘත්තීය පුහුණුව සහ තරුණ සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබුණා. සංචාරයේ දෙවන දිනය ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා මාලදිවයින් පාර්ලිමේන්තුව අද උදෑසන ඇමතුවා.

2019 ඉන්දීය සාගර සමුළුව මාලදිවයින් පැරඩයිස් අයිලන්ඩ් රිසෝට් හෝටලයේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. එම සමුළුවේ සභාපතිත්වය දරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. ඉන්දීය පදනම් ආයතන මෙම සමුළුව සංවිධාන කරන අතර ඒ සඳහා මාලදිවයින් රජයේ සහ සිංගප්පූරුවේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ එස් රාජරත්නම් විද්‍යාලයේ සහායද ලැබෙනු ඇති.