පානදුර-මොරවින්න ව්‍යාපාරික නිවසක සිටි සුනඛයා මරා දමා නිවසේ තිබූ පෞරාණික වටිනාකමින් යුත් පෙන හතකින් සමන්විත නාග රූපයක් සහිත බුද්ධ ප්‍රතිමාවක් ඇතුළු ප්‍රතිමා තුනක් සොරාගෝ කෝප්‍රල්වරයකු,
ලාන්ස් කෝප්‍රල්වරයකු ඇතුළු සිව්දෙනකු සොරාගත් ප්‍රතිමා සමග අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ ඒකකය කියයි.

අත් අඩංගුවට ගත්

කෝප්‍රල්වරයා හා ලාන්ස් කෝප්‍රල්වරයා පානදුර නල්ලුරුව හමුදා කඳවුරේ සේවය කළ දෙදෙනකු බවද පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් කෝප්‍රල්වරයා ව්‍යාපාරිකයාගේ සමීප මිතුරකු වන අතර ඔහු මිට මාසයකට පමණ පෙර නිවසට පැමිණි අවස්ථාවේදී ව්‍යාපාරිකයා දඹරනින් නිම වූ බව කියන ගණ දෙවි ප්‍රතිමාවක් ඔහුට පෙන්වා ඇතැයි සිදුකළ මූලික පරිකෂණවලදී හෙළි වී යැයි පොලිසිය කියයි.

සැකකාර කෝප්‍රල්වරයා එය සොරා ගැනීම සඳහා ලාන්ස් කෝප්‍රල්පරයා සමඟ සැලසුමක් දියත් කර ඒ සඳහා ගම් ප්‍රදේශය වන රත්න ප්‍රදේශයේ පුද්ගලයන් සිවු දෙනකුගේ සහාය ලබාගෙන මෙම සොරකම් සිදුකර තිබු බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි. ඒ සඳහා ඉකුත් පළමුවැනිදා යොදා ගත්
කෝප්‍රල්වරයා රත්න ප්‍රදේශයේ ඔහු දන්නා කියන පුද්ගලයන් සිවූදෙනකු පානදුරට ගෙන්වා ගෙන තිබූ බව පොලිසිය කියයි.

එම දින සැකකරු එම පුද්ගලයින්  පානදුර ප්‍රදේශයට ගෙන්වා ගෙන තිබුණේ එම දිනවල ව්‍යාපාරිකයාගේ පුතුගේ හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් නිරතුරුවම නිවසේ කිසිවකු නොරැදෙන බව කෝප්‍රල්වරයා දැන සිටි බැවින් බව පොලිසිය කියයි.

 ඒ සඳහා බාධාවක්ව පවතින ව්‍යාපාරික නිවසේ සිටි සුනඛයා යම් ක්‍රමයකින් මරා දමා මමම සැකකරුවන් සොරකම් සඳහා එදින සවස යොදා ගෙන තිබු බව පරිකෂණවලදී හෙළි වූ බව පොලිසිය කියයි. ව්‍යාපාරිකයාට කිසිදු සැකයක් ඇති නොවන ලෙස හැසිරී තිබූ කෝප්‍රල්වරයා ව්‍යාපාරිකයා ඔහුගේ අසනීප පුතුට බෙහෙතක් සොයා ගැනීම සඳහා නිවසින් පිටවිමේදී ඔහු සමඟ ප්‍රධාන සැකකරුද ගොස් ඇති බවද ව්‍යාපාරිකයා ඒ සඳහා ගොස් තිබුණේ නිවස වසා බවද පොලිස් පරික්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.


නිවසේ කිසිවෙකු මෙම අවස්ථාවේ නොමැති බව අනෙකුත් සගයන්ට දුරකතනයෙන් දන්වා තිබු සැකකාර  කෝප්‍රල්වරයා ඔවුන්ට ව්‍යාපාරිකයාගේ නිවස පෙන්වන ලෙස ලාන්ස්  කෝප්‍රල්වරයට පවසා ඇතැයිද පොලිසිය කියයි.

ව්‍යාපාරිකයා හා කෝප්‍රල්වරයා නිවසින් පිටවීමත් සමඟ එම නිවස වෙත  පැමිණ ලාන්ස් කෝප්‍රල්වරයා ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජනෙලයක් කඩා නිවසට ඇතුළු වී ව්‍යාපාරිකයා සතුව තිබෙන දඹරනින් නිම වූ ගණ දෙවි ප්‍රතිමාව සොයා ඇති අතර එය සොයා ගැනීමට අපහසු වීමෙන් පසු පෞරාණික වටිනාකමින් යුත් පෙන හතකින් සමන්විත නාගරූපයක් සහිත බුද්ධ ප්‍රතිමාව, දැඩිමුන්ඩ හා ගම්භාර දෙවියන්ගේ ප්‍රතිමා දෙකක් ද සොරාගෙන තිබු බව පොලිසිය කියයි. මෙම පෞරාණික ප්‍රතිමා එදිනම රත්න ප්‍රදේශයේ නිධානයකින් ගොඩගත් බව පවසා ඒවා බණ්ඩාරගම ප්‍රදේශයේ පුද්ගලයකුට විකිණිට උත්සාහ දරා ඇතැයි විමර්ශනවලදි හෙළි වූ බව පොලිසිය කියයි.

ලාන්ස් කෝප්‍රල්වරයා හා කෝප්‍රල්වරයා මෙම සොරකම් සිදුකිරිම හා එය සැලසුම් කිරීම හා විකිණීම සඳහා ගොස් ඇත්තේ පානදුර නල්ලුරුව යුද හමුදා කඳවුරේ රාජකාරියෙහි යෙදී සිටියදී බව වැඩිදුරටත් අනාවරණය වූ බවක් අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-