මධ්‍යම රාත්‍රි 12ට නිවෙසකට ඇතුළු වූ 31 හැවිරිදි අයකු එම නිවෙසේ තනිව සිටි 69 හැවිරිදි
වයෝවෘද්ධ කාන්තාවක් මහ රෑම නාවා පිරිසුදු කොට පසුව ඇය දූෂණය කිරීමේ චෝදනාවට සැකකරු මෙම
මස 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ දිසා විනිසුරු ශ්‍රීනිත්  විජේසේකර මහතා

නියෝග කළේය. ගම්පොළ පොලිස් වසමට අයත් වැටකේදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ රක්ෂිත
බන්ධනාගාරගත විය.

අතවරයට පත් කාන්තාව සිවුදරු මවක් වන අතර එම දරුවෝ විවාහ වී සිටිති.

ඇය එක් දරුවකුගේ බිරිය (ලේලි) සමඟ මෙම නිවෙසේ සිට
ඇති අතර එම ලේලියට හදිසියේම නාවලපිටිය
ප්‍රදේශයේ ඇති ඇගේ මහ ගෙදරට යෑමට සිදුව ඇත.

මේ බව දැනගත් මෙම වයෝවෘද්ධ මාතාව සිටින නිවෙස අසල පදිංචි 31 හැවිරිදි සැකකරු මහ රෑ
මෙසේ එම නිවෙසට ගොස් ඇය බිය ගන්වා වතුර කරාමය අසලට රැගෙන ගොස් ඇය නාවා ඇත්තේ දැඩි
සීතලද නොතකමිනි.

පසුව ඔහු ඉතා අමානුෂික ලෙස ඇය දූෂණය කර ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය අනාවරණය කරගෙන ඇත.

සැකකරු අවිවාහකයකු වන අතර ඔහු සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි.

ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ශ්‍රියන්ත පීරිස්, පොලිස් අධිකාරි චූලනී වීරරත්න යන අයගේ
උපදෙස් මත කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති චන්දික ශ්‍රී කාන්ත මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා
සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

ගම්පොළ - මාධව බණ්ඩාර