කිලිනොච්චිය, පුනරීන්, අරසපුරකුලම් වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ වැවේ රොන් මඩ සහිත දිය වළක ගිලමින් සිටි පවුලක් බේරාගැනීමට කිලිනොචිචීය ආරක්ෂක සේනාවට අයත් පස්වන යාන්ත්‍රික පාබල
රෙජිමේන්තු යුද හමුදා නිලධාරිහු පෙරේදා (07දා) සමත් වූහ. කිලිනොච්චිය, පුනරීන්, හතර කණුව ප්‍රදේශයේ පදිංචි ඩි. තෙරුනාල් ඇලෝසියස් නැමැත්තා සිය බිරිඳ හා දරු තිදෙනා සමග පෙරේදා (07දා) දිය නෑමට ගොස් ඇති අවස්ථාවේ වැව තුළ තිබු රොන්මඩ සහිත වළක එරමින් සිටියදී ඒ බව යුද හමුදා නිලධාරීන්ට සැලවීමත් සමග ක්‍රියාත්මක වූ යුද හමුදා නිලධාරින් අදාළ පවුලම බේරා ගෙන ඇත.


වැවට බැස සිටි දරුවෙකුගේ පළමු රොන්මඩ වළෙහි එරී ඇති අතර, ඔහු බේරාගැනීමට ගිය පියා, මව සහ අනෙක් දරුවා මඩෙහි එරී තිබේ. පස්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු යුධ හමුදා නිලධාරීන් වන සෙ/වි 100258 ලාන්ස් කෝප්‍රල් පී.පී.ජේ.පී.ආරියරත්න හා වි/ 100232 ලාන්ස් කෝප්‍රල් ඩි.පි.එස් අමරසිරි යන දෙදෙනා වැවට බැස අදාළ පවුල් දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩගෙන තිබිණ.

අදාළ පිරිස වැවෙන් ගොඩගත් අවස්ථාවේ සිහි නැතිවී ගොස් සිට ඇති අතර, එහිදී යුද හමුදා නිලධාරීන් ක්ෂණික ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව අදාළ පිරිස පුනරීන් රෝහල වෙත ඇතුළත් කර තිබේ. අනතුර ලක්වූ පිරිස එහිදී වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහල වෙත යොමු කොට ඇති අතර, අදාළ පිරීස මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයට හැරෙමින් පවතින බවද යුද හමුදා නිලධාරීහු පැවසූහ.

ඇලෝසියස් ජයන්තිමාලා නමැති 44 හැවිරිදි කාන්තාවක්, අදාළ පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වු ඇලෝසියස් අම්බරාසා වු වයස අවුරුදු 14 දරුවෙකු හා පවුලේ දෙවැනි පිරිමි දරුවා වු ඇලෝසියස් අනුස්තන් නමැති 12 හැවිරිදි දරුවෙකු එලෙස දියේ ගිලෙමින් සිටියදී බේරාගෙන තිබිණ.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජේ.වී. රවිප්‍රිය මහතාගේ අධීක්ෂණය  මත, කිලිනොච්චිය යුද හමුදා 66 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දර මහතාගේ මෙහෙයවීමෙන්, 661 බලසේනාධිපති කර්නල් මදුර වික්‍රමරත්න මහතාගේ හා පස්වන  යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අණදෙන නිලධාරී මේජර් ධනංජය වන්නිආරච්චි මහතාගේ උපදෙස්  මත පස්වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු නිලධාරීන් මුදාගැනීමේ මෙහෙයුම වෙනුවෙන් සහයෝගය  ලබාදී තිබේ.

-මධුෂංඛ අමරසිංහ-