රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුතු කිලෝ ග්‍රෑම් 30 ක පමණ කේරළ ගංජා තොගයක් පෙරේදා (14) සවස සැකකාරියක සමග අත්අඩංගුවට ගත් බව බද්දේගම පොලිසිය පවසයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණ ගයාපාමුල පිවිසුමෙන් පිටවූ මෝටර් රථයක් පිළිබඳ සැකසිතී මුරපොළේ නිලධාරින් වාහනය නතර කරන ලෙස සංඥා කළද වාහනය නතර නොකර පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.

එම වාහනය ඊට ආසන්න අතුරු මාර්ගයකට හරවා චීන බන්ට් වෙල්ල අසල තේ වත්තකට ගමන් මලු තුනක් විසිකර පළාගොස් ඇති බව පොලිසිය කීය. සිද්ධිය දුටු ගම්වැසියකු ඒ පිළිබඳව පොලිසියට දැනුම් දීමෙන් පසු එම ස්ථානයට පැමිණි බද්දේගම වැඩබලන පොලිස් ස්ථානාධිපති අශෝක ප්‍රියදර්ශන මහතා
ප්‍රමුඛ නිලධාරීන් ගමන් මලු තුන  සොයාගෙන ඒවා පොලිසියට රැගෙනවිත් පරික්ෂා කිරිමේදී ගංජා තොගය සොයාගෙන ඇත.

ගමන් මලු සොයාගත් ස්ථානය අසල ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කිරිමෙන් පොලිසිය වාහනය හඳුනාගෙන ඇති අතර එය මාජුවාන කෙරදේවල ප්‍රදේශයේ කාන්තාවකගේ නමින් ලියාපදිංචි කරන ලද වාහනයක් බවට හඳුනාගෙන එම නිවසට ගියද වාහනය හමුවී නැත.

පොලිසිය අදාළ නිවස රාත්‍රිය පුරා රහසිගතව වටලාගෙන සිට ඊයේ (15) අලුයම නිවසට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට සැරසුනද ඇය පැන යාමට උත්සාහ දැරූ බැවින් දැඩි පරිශ්‍රමයකින් පසු සැකකාරිය අත්අඩංගුවට පත්ව ඇත. විවාහක කාන්තාවක් වන ඇය සහ ඇගේ දෙවැනි සැමියා දීර්ඝ කාලයක් තිස්සේ සෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවත් හික්කඩුව හා දොඩංදූව ප්‍රදේශවල ධීවර යාත්‍රා සඳහා මෙම මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.

අදාළ මෝටර් රථය සහ එය පැදවූ බවට සැකකරන ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ සිදු කෙරේ. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

-ජනත් ද සිල්වා-