පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී දුලක්ෂි ප්‍රනාන්දු තෙවැනි වතාවටත් ඊයේ අධිකරණයේ පෙනී සිටි අතර එළඹෙන 23 වනදා දක්වා
රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර
ගතකර සිටි ඇයගේ සොහොයුරියට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (16) ඇප නියම කර ඇත.
 වෙන්නප්පුව සිරිගම්පල පොලිස් මාර්ග බාධකයක් අසළදී පොලිස් රාජකාරියට බාධා කරමින් අශෝබන ලෙස හැසිරුණු බවට චෝදනා ලැබූ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිනී දුලක්ෂි චමෝදරී ප‍්‍රනාන්දු සහ ඇගේ වැඩිමහල්
සොහොයුරිය සුපුනි දුලාංජලී යන දෙදෙනා  ඉකුත් 21 දා සිට 30 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර  යළි සැප්තැම්බර් 16 වන දා දක්වා රක්ෂිත භාරයේ තැබීමට මාරවිල මහේස්ත‍්‍රාත් හා දිසා විනිසුරු කේමින්ද පෙරේරා මහතා  නියෝග කර තිබුණි.
මෙම තීන්දුව ලැබුනේ එය යළි විභාගයට ගත් අවස්ථාවේය.

ඉකුත් මස 19 දා සිදු වූ එම සිදුවීම සම්බන්ධව ඔවුන්ගේ පියා වන සමන් අශෝක ප‍්‍රනාන්දු සහ සොහොයුරිය වූ නිමාෂා නවාංජලී ප‍්‍රනාන්දු යන දෙදෙනා 21 දා ඇප මත මුදා හැර  තිබිණි.
ලූණුවිල සිරිගම්පොල සීනෝර් ජනපදය අසළ දී මන්ත‍්‍රීවරියගේ  නැගණියක ආරක්ෂිත හිස්වැසුම් හා රියදුරු බලපත‍්‍ර රහිතව යතුරුපැදියකින් ගමන් කිරීමේදී අත්අඩංගුවට  ගැනීමේ සිද්ධියක් මත මෙම නඩුව ඉදිරිපත් වූ අතර, එම සිද්ධියේ වීඩියෝ පටයක්ද රූපවාහිනී මාධ්‍ය සහ සමාජ මාධ්‍යජාලා ඔස්සේ මෙන්ම මුද්‍රිත මාධ්‍ය මගින් ද ඉකුත් 20,21 ට ආසන්න දිනවල ප‍්‍රචාරය විය.